Thursday, November 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ සුනාමියෙන් පසු අනතුරු ඇගවීම් දත්ත ගැන ලොවටම සැකයක්

දිනුක් හේවාවිතාරණ




පසුගිය සිකුරාදා (28) ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වය පිළිබඳව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය සුනාමිය ඇති වීමට පෙර ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට භූවිද්‍යා ආයතනයට චෝදනා එල්ලවී තිබෙනවා.

සුලාවෙසි දුපත ආසන්නයේ සිදුවූ රිච්ටර් ඒකක 7.5 ක ප්‍රබල භූකම්පනයත් සමග එරට භූවිද්‍යා ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබු අතර පසුව විනාඩි 34ක් ගතවන තැන එය ඉවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. 

ඉන් සුළු මොහොතකට පසුව ඉන්දුනීසියාවේ පාලූ දුපතට අඩි 18 ක් පමණ උසකින් යුත් සුනාමි රළ ප්‍රවාහයක් ඇතිවූ අතර ඉන් මේ වන විට පුද්ගලයින් 384 ක් මිය ගොස් තිබෙනවා. එරට ආපදා සහන සේවා ඒජන්සිය සදහන් කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

සුනාමි රළ පහර පාලූ දුපතට එල්ල වන අවස්ථාව වන විට එහි වෙරළ තිරයේ පැවති උත්සවයක් සදහා පැමිණි සිය ගණනක් පුද්ගලයින් රැදී සිට ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඉන්දුනීසියා භූවිද්‍යා ආයතනයේ භූකම්පන සහ සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයේ ප්‍රධානියා සදහන් කර සිටියේ සම්මත ක්‍රියා පටිපාටියට අනුව තම ආයතනය ක්‍රියා කළ බවයි. පාලූ දුපතට කිලෝමීටර් 200 ක් ආසන්නයේ පිහිටි මුහුදු රළ සංවේදක උපකරණ මගින් ලබා ගත් දත්ත පදනම් කර ගනිමින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට පියවර ගත් බවයි ඔහු සදහන් කරන්නේ.

" පාලූ දුපත ආසන්නයේ මුහුදු රළ සංවේදක දත්ත මැනීමේ උපකරණයක් ස්ථාපිත කර නැති නිසා ඊට ආසන්නව තිබෙන සංවේදක උපකරණයේ දත්තපදනම් කර ගනිමින් අපි ක්‍රියා කලේ. භූකම්පනයෙන් අනතුරුව එහි සටහන්ව තිබුනේ මුහුදු රළ අගල් 2.5 කින් වෙනස් වී ඇති බවයි. සුනාමියක් ඇතිවීමේ අවධානමක් අප එම දත්ත මගින් සටහන්වී තිබුනේ නැහැ" යැයි භූකම්පන සහ සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අනුව බලන කළ සුනාමි රළ ඇතිවේද යන්න සම්බන්ධයෙන් දත්ත ලබා ගැනීමට මුහුදේ ස්ථාපිත කර තිබෙන සංවේදක යන්ත්‍ර වලට සුනාමි රළ ඇතිවීමේ දත්ත ලබා ගැනීමට නොහැකිවී ඇති බව විද්‍යාඥයින් සදහන් කරන්නේ.

මිට පෙර 1927 සහ 1968 වර්ෂයන් හිදී පාලූ දුපතට සුනාමි බලපෑම් එල්ලවූ බව එරට කාලගුණ විද්‍යාතනය සදහන් කරනවා.