Thursday, May 2, 2024

General line - 0115112241

රට ඇතුළට එන්න ගිය 'අයිස්' කටුනායකදී නවතයි

ටී.කේ.ජී කපිල - කටුනායක




මෙත්ඇම්පිටමින් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අයිස් නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී (01) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගත්තා.

ශ්‍රී ලංකාවට මුල්වරට පැමිණි 22 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික තරුණයෙක් මෙම මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ තිබුණා.

ඔහු අද දින අලුයම 1.48 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුල් දෙකක, මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ සෝදිසියකදී සොයාගනු ලැබුවා.

ඒවායේ මුළු බර ග්‍රෑම් 484 ක් වන අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 58 ලක්ෂයක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසුවා.

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී. ඒ.ධනපාලගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.