Monday, May 6, 2024

General line - 0115112241

දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වැටුප් ගෙව්වේ මෙහෙමයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා සඳහා ඉකුත් දෙසැම්බර් මාසය වෙනුවෙන් ගෙවා ඇත්තේ මන්තී‍්‍ර වැටුප පමණක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එනම් වැටුප් ගෙවීමේදී අග‍්‍රාමාත්‍ය, විපක්‍ෂ නායක හෝ අමාත්‍ය ධුරයන් සැලකිල්ලට ගෙන නැහැ. 

සාමාන්‍යයෙන් මන්තී‍්‍රවරුන්ට වැටුප් ගෙවනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ වැටුප දීමනා රහිතව රුපියල් 54,285 ක් වනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ වැටුප අග‍්‍රාමාත්‍ය කාර්යාලය හරහාද විපක්‍ෂ නායකවරයාගේ වැටුප විපක්‍ෂ නායක කාර්යාලයෙන් සහ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වැටුප් අදාළ අමාත්‍යාංශ හරහා ගෙවනු ලබන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

කෙසේවෙතත් දෙසැම්බර් මාසය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා මන්තී‍්‍රවරුන් ලෙස පමණක් සලකා පාර්ලිමේන්තුව විසින් වැටුප් ගෙවා තිබෙනවා. පැවති දේශපාලන ව්‍යාකූලතාවන් හේතුවෙන් අග‍්‍රාමාත්‍ය, විපක්‍ෂ නායක හෝ අමාත්‍යවරුන් පිළිබද විවිධ තර්ක පැවතීම ඊට හේතුවයි. 

කෙසේවෙතත් පසුව සිදුවූ සංශෝධන සැලකිල්ලට ගෙන ජනවාරි මස වැටුපේදී අදාළ හිලව් කිරීම් සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු ආරංචි පවසන්නේ. ඒ අනුව හිඟ වැටුප් ජනවාරි මස වැටුපට එකතු කිරීම හෝ වැඩිපුර ගෙවා ඇත්නම් ඒවා අඩුකර ගැනීම සිදුවනු ඇති.