Monday, April 29, 2024

General line - 0115112241

"සේනා දළඹුවා දැන් දිගටම රටේ ඉඳීවි" - කළ හැකි දේ කෘෂි බලධාරීන් පෙන්වයි

කාංචන කුමාර/හේරත් ඒකනායක/තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




සේනා දළඹුවා මෙරටට පැමිණි ආකාරය පිළිබඳ තවදුරටත් විවිධ මත පළ වනවා. කෘෂිකර්ම විශේෂඥයින් පළ කරන එක් මතයක් වන්නේ සුළග සමග දළඹුවා මෙරටට පැමිණෙන්නට ඇති බවයි.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන භාණ්ඩ සමග ද සේනා දළඹුවා මෙරටට පැමිණීමට ඉඩකඩක් ඇති බවයි. පළ වී ඇති විවිධ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද දැනුවත් කරන බව ඔහු කියා සිටියා. 

සේනා දළඹුවා පිළිබඳ මේ වනවිට දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම වාර්තා වනවා. පළමුව බඩ ඉරිගු අස්වැන්නට හානි කළ මෙම දළඹුවා පසුව කුරක්කන්, උක් සහ වී වගාවන්ට ද බලපෑම් කර ඇති බවටයි වාර්තා වුණේ. මේ වනවිට ගෝවා සහ නෝකෝල් වගාවට ද සේනා දළඹුවා ව්‍යාප්ත වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ගලේවෙල ප‍්‍රදේශයෙන්. ගොවීන් පවසන්නේ ගෝවා වගාව ආශි‍්‍රතව සේනා දළඹුවා පැතිරයාමේ අවදානම වැඩි බවයි. 

දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිට ද දීපව්‍යාප්තව විශේෂ වැඩසටහන් ක‍්‍රියාවට නංවා තිබෙනවා. ඒ සඳහා කෘමිනාශක විශේෂ 05ක් ද හඳුන්වා දීමටයි කෘෂිකර්ම බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

කෙසේවෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර සඳහන් කළේ මෙරටට පැමිණ ඇති සේනා දළඹුවා සම්පූර්ණයෙන් මර්දනය කිරීමට නොහැකි වනු ඇති බවයි. 

එහිදී "දැන් මේ සතා ලංකාවට ඇවිල්ලා ඉවරයි. මේ සතා දැන් දිගටම අපේ රටේ ඉඳීවි. මේ සතාව අපි අද සමූල ඝාතනය කළත් හෙට ආපහු ඉන්දියාවේ ඉදලා ඒවි. අපිට පුළුවන් පාලනය කරන්න විතරයි. වසංගත තත්ත්වයකට පත්වෙන්න නොදී තබා ගැනීමයි කෘෂිකර්ම විද්‍යාඥයින්ගේ පරමාර්ථය." යනුවෙන්ද සඳහන් කළා.

දළඹුවා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා බඩ ඉරිගු වගා කරන ආකාරය වෙනස් කිරීමට සිදු වන බවද ඔහු කියා සිටියා.

සේනා දළඹුවාගෙන් සිදුව ඇති වගා හානි පිළිබඳ මේ වනවිට දීපව්‍යාප්ත සමීක්ෂණයක් ද සිදු වනවා. සිදුව ඇති හානිය ගණනය කිරීමෙන් පසු වන්දි ලබාදීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ. ඒ, අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන පරිදියි. 

මේ අතර සේනා දළඹු ව්‍යාප්තිය සහ එය මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින් ද අද (23) සාකච්ඡා කෙරෙනු ඇති.