Thursday, May 2, 2024

General line - 0115112241

වැඩි දියුණු කරන ලද ගංජා තොගයක් හසුවෙයි (PHOTOS)

ටී.කේ.ජී කපිල - කටුනායක




වඩාත් වැඩි දියුණු කරන ලද විදේශීය රටක නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුෂ් (Kush) නැමැති මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනා කාන්තාව 24 හැවිරිදි ඉරාන ජාතික ගෘහ නිර්මාණ ශිල්පිනියක් බවයි වාර්තා වෙන්නේ.

උතුරු පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පිහිටි හින්දුකූෂ් කදුවැටිය ආශ්‍රිතව වැවෙන මෙම ගංජා විශේෂය 1970 දශකයේ දී  සොයා ගැනීමෙන් අනතුරුව ඒවාට මෙසේ කුෂ් යන නාමය යොදා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කළා.

මෙම කාන්තාව ඉරානයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 1.07 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන එනු ලැබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ග්‍රෑම් 400 ක් බර මෙම ගංජා තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා සොයා ගත්තා.

මෙම ගංජා ඉරානයේ ගෘහ ආශ්‍රිතව වගා කෙරෙන්නක් වන අතර, ඒවා රසයෙන්, සුවඳින් සහ මත්වීමේ ගුණාත්මකභාවයෙන් වැඩි දියුණු කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ.

මෙම වර්ගයේ ගංජා සඳහා ශ්‍රී ලාංකිකයන් ඇබ්බැහි වුවහොත් ඔවුන් එවායින් මුදවා ගැනීම මහත් අසීරු කාර්යයක් විය හැකි බවද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.