Wednesday, May 1, 2024

General line - 0115112241

ඉතාලියට යවන බව පවසා තරුණයින් සමග විවාහ වී ලක්ෂ ගණනක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට (PHOTOS)

ජූඩ් සමන්ත




ව්‍යාජ ලිපි ලේඛණ භාවිතා කරමින් ඉතාලියට රැගෙන යන බව පවසා තරුණයන් හා විවාහ වී මුදල් වංචා කර සැගවී සිටි කාන්තාවක්ව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

31 වැනිදා අළුයම මාරවිල පොලිස් වසමේ කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් හලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව - මාවතගම ප්‍රදේශයේ  පදිංචි 35 හැවිරිදි කාන්තාවක්වය.

දෙදරු මවක් වන ඇයගේ ස්වාමි පුරුෂයා  සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බව පොලීසිය කියයි.

ඉතාලියට රැගෙන යාම සදහා යැයි පවසා තරුණයින් හා විවාහ වී ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 05/10/15 සහ 17 වශයෙන් ලබා ගෙන තිබූ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් විශේෂ කාර්යංශයේ මාරවිල පොලීසියේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව සැකකාර කාන්තාව සමග මෙම ජාවාරමේ නිරත වූ බව කියන සැකකරුවන් සිව් (04) දෙනෙකුව සහ එක් සැකකාරියක්ව පසුගිය ඔක්තොම්බර් මස 19 වැනිදා මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් හලාවත දී අත්අඩංගුවට ගන්නා ලදි.ඒ නීතිඥයෙකුගේ කාර්යාලයක් තුළදීය.

ඒ වන විට මෙම සැකකාරිය හලාවත - බංගදෙණිය ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට ඇත.

පොලීසිය එම ස්ථානයට කඩා පනින විට සැකකාරිය එකී ලැගුම්හලේ සේවකයෙකු සමග හොර රහසේම පලා ගොස්  තිබී ඇත.

එදින අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් (04) සහ සැකකාරිය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මේ වන විට ඇප මත මුදා හැර සිටී.

සැකකාර කාන්තාව විදේශ ගත වීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව ඇය මාරවිල - කටුනේරිය ප්‍රදේශයේ ලැගුම් හලක සිටියදී 31 වැනිදා අළුයම අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත් වී ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගත් බව සැළවීමත් සමග ඇය හා ව්‍යාජ ලෙස විවාහ වී මුදල් වංචාවන්ට හසුවූ තරුණයින් 08 දෙනෙකු මාරවිල පොලීසියට පැමිණ ඉදිරිපත් වී ඇත.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මහවැව,මාරවිල,වෙන්නප්පුව,ගම්පොල,බිංගිරිය,ගාල්ල සහ මාතර ප්‍රදේශ වල තරුණයින් බොහෝ දෙනෙකු සමග සැකකාරිය ව්‍යාජ ලෙස විවාහ වී ඇති බව විමර්ශණ කටයුතු කරන නිලධාරීන් කියයි.