Wednesday, May 1, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහි ශී‍්‍රලනිප අධිකරණ කි‍්‍රයාමාර්ගය දින කිහිපයකින්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක/සජිත් තිලකරත්න




පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි දින කිහිපයේදී අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකදි මහලේකම්වරයා මෙම අදහස් පළ කළා.

පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම සදහා ජනාධිපතිවරයා විසින් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවට අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  

මේ අතර මැතිවරණ කල් දැමීමේ උවමනාවක් එක්සත් ජාතික පක්‍ෂයට නොමැති බව එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පසුගිය කාලසීමාවේදී පළාත් සභා මැතිවරණ නව ක‍්‍රමයකට පැවැත් විය යුතු බව ප‍්‍රකාශ කළ පිිරිස් අද වනවිට පැරණි ක‍්‍රමය යටතේ එම මැතිවරණය පැවැත්විය යුතු බවට ප‍්‍රකාශ සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ විශේෂ රැස්වීමක් කැදවා ඇති බවයි අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසුවේ.

පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනක පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා මෙම රැස්වීම කැදවා ඇති බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවා.