Saturday, May 4, 2024

General line - 0115112241

රේගු වෘත්තීය සමිති හෙට සිට වැඩවර්ජනයක (UPDATE)

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




රේගු වෘත්තීය සමිති හෙට (05) දිනයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දින 06ක් පුරා පැවැත්වෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්. 

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සුදත් ද සිල්වා මේ බව පෙන්වා දෙනවා. 

සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සමිති රැසක් මේ වනවිට සහය පළ කර ඇති බවද ප‍්‍රකාශ කෙරුණා. 

රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කල් ඉකුත්විය හැකි ආහාර ද්‍රව්‍ය රැසක් මේ වනවිට ද රේගුව තුළ සිරවී තිබෙනවා. මේ වනවිට සිදු කරන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය යටතේ එම ආහාර ද්‍රව්‍ය ක‍්‍රමයෙන් රේගුවෙන් නිශ්කාෂණය කිරීම සිදු වනවා. එහෙත් හෙට දිනයෙන් පසු එම කටයුතු ද නතර කරන බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ. 
 

----------------------------------

රේගු වෘත්තීය සමිති දැඩි තීරණ ගනී - අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යා හැකියි

(04-02-2019 07:58)

 

අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය දැඩි කිරීමට රේගු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ, 06 වන දිනටත් අද (04) දිනයේ ක‍්‍රියාත්මක සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්.

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සුදත් ද සිල්වා මේ බව පෙන්වා දුන්නා.

රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත‍්‍රයට ද බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ. 

රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් රැසක් ද රේගුවේ සිරවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය පවසන්නේ.

ඊට විසඳුම් ඉල්ලා හෙට (05) දිනයේ පිටකොටුවේ සියලූ තොග අලෙවිසැල් වසා දැමීමට ද තීරණය කර තිබෙනවා. රේගු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ද ඇති විය හැකි බවයි එම සංගමයේ ලේකම් ජී. ඉලමනාදන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.   වැඩ වර්ජනය අඛණ්ඩව සිදු වුවහොත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යා හැකි බව ඔහු ප‍්‍රකාශ කළා. 

රේගු වෘත්තීය සමිති දත්තවලට අනුව දෛනිකව රේගුවෙන් නිශ්කාෂණය වන බහාලූම් ප‍්‍රමාණය 1,500ත් - 2,000ත් අතර වනවා. එහෙත් මේ වනවිට එය 100ත් - 200ත් අතර ප‍්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ. දෛනිකව රුපියල් මිලියන 4කට ආසන්න ආදායමක් රේගුවෙන් උපයා ගැණුන ද මේ වනවිට එය සියයට 20 දක්වා පමණ අඩු වී ඇති බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.