Wednesday, May 8, 2024

General line - 0115112241

ප්‍රබල අපරාධකරුවකු වන මදූෂ් ගැන විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඩුබායිහි ප‍්‍රධාන පෙළේ පුවත්පතක් අද (06) වාර්තා කර තිබුණේ මදූෂ් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළහැකි දැයි ඩුබායි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි. 

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ ආරක්ෂක කටයුතු යන අමාත්‍යංශ එක්ව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවටද ශ‍්‍රී ලංකා පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. ඊයේ සිදු කළ මෙහෙයුමකදී මදූෂ් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක පැවති සාදයකදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව ඩුබායි මාධ්‍ය අද වාර්තා කළා. 

මදූෂ් සමග තවත් ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බව කියන කෙසෙල්වත්තේ දිනුක, කංචිපානි ඉම්රාන්, අංගොඩ චුට්ටා සහ වැලිගම සුද්දා යන පුද්ගලයින් ද සිට ඇති බවට වාර්තා වනවා.

මීට අමතරව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා මෙන්ම තවත් රංගන ශිල්පියෙකු සහ රියැලිටි තරග නියෝජනය කළ තරුණ ගායකයින් 06 දෙනෙකු ද මෙම පිරිස සමග අත්අඩංගුවට ගෙන ඇති බවටයි අද වනවිට තොරතුරු වාර්තා වන්නේ. කෙසේවෙතත් ඔවුන් පිළිබඳ නිල දත්ත මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. 

වැටලීම සිදු කළ සාදය සංවිධාන කර තිබී ඇත්තේ මාකඳූරේ මදූෂ්ගේ දෙවන බිරිඳ දාව උපන් පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන්. මෙහිදී හෙරොයින්, කොකේ්න්, අයිස් සහ තවත් මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති අතර රුධිර සාම්පල ද ලබාගෙන තිබෙනවා. නෙත් නිවුස් වෙත වාර්තා වුණේ මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බවයි. ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබුණා. ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද සිය දායකත්වය ලබාදී තිබෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මකයි.