Thursday, May 2, 2024

General line - 0115112241

උතුරු කොරියාවේ මැතිවරණය අදයි - එකම අපේක්ෂකයෙකුට පමණක් මනාපය දෙන්න අවස්තාව




උතුරු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අදයි. විශේෂත්වය වන්නේ මෙම මැතිවරණය සඳහා සිය ඡන්දය ප‍්‍රකාශ කලද කිසිඳු ඡන්ද අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනීමට රටවැසියන් හට අවස්ථාවක් නොලැබීමයි. ජාත්‍යන්තරයේ හුදෙකලා පෙරළිකරුවා වන උතුරු කොරියාවේ රාජ්‍ය පාලනය දශක ගණනාවක පටන් එකම පවුලක් සතුව පවතිනවා. පාලකයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේක්ෂා කෙරෙන්නේ හුදෙක් රටවැසියන්, පාලකයින් වෙත සිය පක්ෂපාතීත්වය පෙන්වීම පමණයි.

සම්ප‍්‍රදායට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේදී වයස අවුරුදු 17ට වැඩි පුද්ගලයින් හට මැතිවරණය සඳහා සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. එහිදී ඡන්ද දායකයින් සිදු කළ යුතු වන්නේ ඡන්දය පැවැත්වෙන දිනයේදී උදැසනින්ම ඡන්ද පොළවල් වෙත පැමිණීමයි. ඡන්ද පොළවල්වල  දිගු පෝළිම් දැකගත හැකි වීමෙන්, රටවැසියන් රජයට දක්වන පක්ෂපාතීත්ව පෙන්නුම් කරන බවයි පාලකයින් සලකන්නේ. 
 
එහිදී ඡන්ද දායකයින් හට ඡුන්ද පති‍්‍රකාවක් ලැබෙන නමුත් එහි නමක් හෝ සලකුණක් යෙදීමට ඔවුන්ට අවසර හිමිවන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට සිදු වන්නේ අදාළ ඡන්ද පති‍්‍රකාවේ සටහන්ව ඇති නම බලා, ඡන්ද පොලේ ඇති ඡන්ද පෙට්ටිය වෙත අදාළ ඡන්ද පති‍්‍රකාව දැමීම පමණයි. 

කෙසේවෙතත් මැතිවරණ දිනයේදී සිය පෞද්ගලික මතය ප‍්‍රකාශ කිරීමට හැකි ඡන්ද මධ්‍යස්ථාන ද ස්ථාපිත කර තිබෙනවා. එහෙත් එවැනි ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිය පෞද්ගලික ඡන්දය ප‍්‍රකාශ කරන ඡන්ද දායකයා සැලකෙන්නේ සැකකටයුතු පුද්ගලයෙකු ලෙසයි. පසුව රහස් පොලිස් කණ්ඩායමක්, සිය පෞද්ගලික මතය ප‍්‍රකාශ කළ අදාළ ඡන්ද දායකයා පසුපස ගොස් ඔහුගේ පෞද්ගලික තොරතුරු සොයා බලනු ලබනවා. පසුව අදාළ පුද්ගලයා මානසික රෝගියෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.