Monday, April 29, 2024

General line - 0115112241

වසර දෙකකින් මත් රකුසා සම්පුර්ණයෙන්ම තුරන් කරනවා - ජනාධිපති (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක‍්‍රියාත්මක කර ඇති සැලැස්ම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ඉදිරි වසර දෙක තුලදී රටින් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීමට හැකි බවට එම අංශ විශ්වාසයක් ඇතිකරගෙන ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට අධික ප‍්‍රමාණයක් දියකර පුළුස්සා විනාශ කිරීමේ අවස්ථාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුවයි.
       
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා අවශ්‍ය අධිතාක්‍ෂණ උපකරණ ශ්‍රී ලංකාව සතුව නොමැති බැවින් ඉදිරි මාසය තුළදී එම උපකරණ අමෙරිකාව සහ ඊශ‍්‍රායලයෙන් ගෙන්වීමට පියවර ගන්නා බවයි.

රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් එක් ලක්ෂ පනස් දහසක් පමණ සිටින බවත් මත්ද්‍රව්‍ය සොයාගෙන විනාශ කරනවා මෙන්ම භාවිතා කරන අය පුනරුත්තාපනය කිරීම සඳහා පුනරුත්තාපන අධිකාරියක් පිහිටුවීම ඇතුළු වැඩපිළිවෙලක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. 

එළඹෙන සිංහල හින්දු අලූත් අවුරුදුදෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙන්ම බෙදා හරින්නන් සහ පාවිච්චි කරන්නන් ආදී සියලූ දෙනාම නීතියේ රැහැනට අසු කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියා.
       
යුධ, නාවික, ගුවන් හමුදා, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව, වෙරළ ආරක්ෂක, සුරාබදු ආදී සියලූ අංශ තුළ එක්කරගෙන ක‍්‍රියාවට නංවන මෙම පුළුල් වැඩපිළිවෙළෙහි ප‍්‍රධානම බලාපොරොත්තුව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සොයා අධිකරණයට ගෙන ගොස් ඔවුන් පුනරුත්ථාපනය කිරීම බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියා.
       
නීතිය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව වෛද්‍යවරයෙක් රුධිර පරීක්ෂණයකින් සහතික කළොත් ඔවුන් පුනරුත්තාපනය කළ හැකි බව කී ජනාධිපතිවරයා ඒ සඳහා දැනට තිබෙන පුනුරුත්තාපන කඳවුරු වලට අමතරව අලූත් පුනරුත්ථාපන කදවුරු රාශියක් විවෘත කරන බව ද කියා සිටියා.