Monday, April 29, 2024

General line - 0115112241

ඌරුමීයන් ඉවත් වූ පසු රජයේ තත්ත්වය රාජිත කියයි




රජය තුළ සිටි ඌරුමීයන් ඉවත් වූ පසු රජය නිවැරදිව ඉදිරියට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී "2015 වසරේ නව රජය බලයට පත් කරන්න රාජපක්ෂලාට හති වැටෙනකන් දතින් දත දත් ගැලෙවුවා. මම දන්ත වෛද්‍යවරයෙක්. මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ අපට ඔක්තෝබර් 26 වැනිදා වත්මන් ජනාධිපතිවරයා පරාද කිරීමට පහසු වුණා. අපි සැළුනේ නැහැ. ජන සටනක් ක්‍රියාත්මක කරමින් දින 52 කට පසු එම දේශපාලන අර්බුදය අපි ජයගත්තා. යහපාලන රජය තුළ දී ජනාධිපතිවරයා මෙන්ම කකුලෙන් අදින ලද අමාත්‍යවරුන් පිරිසක් ද සිටියා. ඔවුන්ට මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ කළේ ඌරු මී න්‍යාය අනුගමනය කරන අය බව. රජයක සිට රජයම විවේචනය කරනවා. එම නිසයි පළාත් පාලන මැතිවරණය අපි පරාජයට පත් වුනේ. නමුත් එම ඌරුමීයන් ඉවත් වූ පසු රජය ඉදිරියට ගමන් කරනවා. ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා, සිරිකොත ගමට යන වැඩසටහන්වලදී ජනතාවගේ ගැටලුවලට විසදුම් හිමිවෙනවා. වත්මන් රජය මහජන සුබසාධනය ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය හා අධ්‍යාපනය නංවාලමින් කටයුතු කරනවා. දේශපාලන පරමාර්ථ උඩ ගමන ඉදිරියට යනවා. සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැළකීම අපගේ අරමුණයි. සෞඛ්‍ය සේවාව ඉදිරියට ගමන් කරනවා. අපි සිදු කරන මෙවැනි සමාජ සේවා වැඩසටහන් පළාතේ සංවිධායකවරුන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා. දරුවෙකුට රැකියාවක් ලබාදීම උතුම් දෙයක්. දේශපාලනයේ දී බෙල්ල කපාගෙන ඉදිරියට යන්න බැහැ. රාජ්‍ය බලය තිබෙද්දී ජනතාවට උදව් කළ යුතුයි. අයවැය විවාදයේ දී සෞඛ්‍ය සේවාව පිළිබඳව සියළුම දේශපාලන පක්ෂ හොඳ කිව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව මගෙනුත් විමසුවා. මොකද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සෞඛ්‍ය සේවාව අගය කළ නිසා. හොඳ නොකියා බැරි තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කර තිබෙනවා.” යනුවෙන්ද එහිදී සඳහන් කළා.