Thursday, May 2, 2024

General line - 0115112241

පරණ අවුරුද්දේ මෙන් අලුත් අවුරුද්දේත් ජනතාවට සහන දෙන්න අගමැති සුදානම්




ශ්‍රි ලංකාව ලෝකයේ ප්‍රබුද්ධ රටක් බවට පත් කිරීමට සියලුදෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළ සිරිතට මුල් තැන දෙමින් කොළඹ මහගම සේකර මාවතේ පිහිටි සිය නිළ නිවසේ සිට අද අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකළා. වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පැලයක්ද රෝපණය කිරීමටයි කටයුතු කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුණ්‍ය කාලයේදී නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා නුවරඑළියෙදී සිය බිරිද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබුවා. 

ගතවු කාලය තුළ මෙන්ම ඉදිරියේදීද ජනතාව වෙනුවෙන් තවත් සේවාවන් රැසක් ඉටු කිරීමට සැලසුම් කර ඇති බවයි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද තංගල්ල කාල්ටන් නිවසේදී සිය පවුලේ ඥාතින් සමග එක්ව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළා. ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග රැක ගනිමින් රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතු බවයි.