Thursday, May 2, 2024

General line - 0115112241

සහරාන්ගේ කල්ලිය සතු මිලියන 140ක මුදලක් හා බිලියන 07ක වත්කම් CIDය සොයා ගනියි




පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 140කට අධික මුදලක් සොයා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. එම ත්‍රස්ත සංවිධානය සතුව තිබු මුදලින් කොටසක් මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුම් වල ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායම සතුව තිබු රුපියල් බිලියන 07ක් වටිනා වත්කම් පිලිබදව ද කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. මෙම වත්කම් සහ බැංකු ගිණුම් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

එමෙන්ම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 09 දෙනෙක් කාන්තාවන් බවයි මෙහිදී කරුණු හෙළි වුයේ. එලෙස අත්අඩංගුවේ පසුවන පිරිසෙන් 54 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද තවත් 19 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වා සිටියා.

මේ අතර මීගමුව කොච්චිකඬේ පෝරුතොට ප්‍රදේශයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අද කරුණු දැක්වූවා. ඔහු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මහරගම නගරයේ අද අලුයම ඇති වූ ගින්නක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් අද උදෑසන ශ්‍රවණය වූ ආගන්තුක ශබ්ධයක් නිසාද ජනතාව අතර කිසියම් නොසන්සුන්තාවක් ඇති වුණා. එහෙත් ඒ කිසිවක් කඩාකප්පල්කාරී ක්‍රියා නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

මේ අතර රටපුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 10,247 දෙනෙකු මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා