Tuesday, May 7, 2024

General line - 0115112241

හලාවත සාමකාමියි : ඇඳිරි නිතිය කලින්ම ඉවත් කිරීමට තීරණය කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ඔගස්ටින් ප්‍රනාන්දු




හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් අද දහවල් හලාවත පොලිස් බල ප්‍රදේශයට පැනවූ ඇඳිරි නිතිය හෙට උදැසන 4ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. මිට පෙර හෙට උදැසන 6 දක්වා පොලිස් ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කර සිටියත් මේ වන විට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී වන බැවින් පොලිස් මුලස්ථානය මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ඇතිවූ නොසන්සුන් තාවයට හේතුව හලාවත නගරයේ පුද්ගලයින් දෙදෙනෙක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකිනෙකාට සිදුකරගනු ලැබූ බහින් බස්වීමේ සිද්ධියක් දුරදිග යාමේ සිද්ධියක් බවයි මෙහිදී පොලීසය සදහන් කර සිටියේ.

මෙහිදී එක් පුද්ගලයෙක් විසින් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ප්‍රකාශයක් නිසා එයට එරෙහිව විරෝධය පලකරන්න ප්‍රදේශවාසීන් විසින් අදාළ ප්‍රකාශය නිකුත් කල පුද්ගලයාගේ වෙළදසැල ඉදිරිපිටට සහ නගරයට ඒකරාශී වීම නිසා නොසන්සුන්තාවයක් ඇතිවුනා. තත්ත්වය පාලනය කිරීමට මෙහිදී වහාම ක්‍රියාත්මකවූ පොලීසය හලාවත පොලිස් බල ප්‍රදේශයට හෙට උදැසන 6 දක්වා ඇඳිරි නිතිය පැනවීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම සමාජ මාධ්‍ය වෙත එම ප්‍රකාශය නිකුත් කරනු ලැබූ හලාවත බසාර් විදියේ පදිංචි අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්ම්ත් නම් 38 හැවිරිදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව හදිසි නිතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.