Friday, May 10, 2024

General line - 0115112241

රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණියේ සිසුන්ගේ දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද ඇරඹේ

තරංග රුක්ෂාන් ජයසේකර/නිශාන් ද සිල්වා




රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණියේ සිසුන්ගේ දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු අද (13) ආරම්භ වනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු පාසල්වල දෙවන වාරය ආරම්භ කෙරුණේ අදියර 02ක් යටතේයි.

ඒ අනුව ඉකුත් 06 වැනිදා පළමු අදියර ආරම්භ වූ අතර 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් පන්ති ආරම්භ කෙරුණා.

එහෙත් ඉකුත් සතිය පුරා සිසුන්ගේ පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කෙසේවෙතත් අධ්‍යාපන බලධාරීන් විශ්වාසය පළ කරන්නේ අද සිට යළි පාසල් වෙත පෙර පරිදි සිසුන් පැමිණෙනු ඇති බවයි. 

පාසල් ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ද ඊයේ (12) අවධාරණය කළා. 

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ලබාගෙන තිබෙනවා. එබැවින් කිසිදු බියකින් තොරව පාසල් වෙත පැමිණෙන ලෙසටයි ආණ්ඩුව සිසු දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ උප සභාපති නීල් අතුකෝරලද මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් පාසල් වෙත එවීමට කටයුතු කරන ලෙසයි. දින කිහිපයක් පාසල් ආරම්භ වීම ප‍්‍රමාද වී ඇති බැවින් අතපසුවූ පාඩම් කඩිනමින් යළි ආරම්භ කිරීම සහ දරුවන් විභාග සඳහා සූදානම් කරවීමට කඩිනමින් කටයුතු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර කතෝලික පාසල් ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය පවසනවා. කෙසේවෙතත් කොළඹ අගරදගුරු පදවිය මගින් පරිපාලනය කරන කතෝලික පෞද්ගලික පාසල් විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය රටේ ආරක්ෂක තත්ත්වය මත එම පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරීමටයි තීරණය කර ඇත්තේ.

කොළඹ අගරදගුරු, පාසල් ආරම්භය අයිවන් පියතුමා යටතේ සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය ප‍්‍රකාශ කළේ. මෙහිදී, දරුවන්ගේ අධ්‍යාපනය හා අවශ්‍යතා සැලකිල්ලට ගැනීමද, ප‍්‍රදේශයේ ආරක්ෂක අංශයේ සහයෝගය ලබා ගැනීමටද අනිවාර්යය බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප‍්‍රකාශ කර තිබෙනවා.