Monday, May 6, 2024

General line - 0115112241

මහ බැංකු වාර්තා නිකුත් වේ - වෙළඳ හිගය ඩොලර් මිලියන 1661ක් වෙයි




මෙම වසරේ පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව සියයට 5යි දශම 6කින් වැඩි වී තිබෙනවා. 

ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදි ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තුවේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 3,156ක් දක්වා වැඩි වී තිබෙනවා. 

මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම සියයට 19යි දශම 3කින් අඩු වී තිබීමද විශේෂත්වයක්. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 5,971ක් වුණා. මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,817ක් පමණයි. 

ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ වෙළඳ හිගය ද ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව අඩු වී තිබෙනවා. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ වෙළඳ හිගය අමෙරිකානු ඩොලර් මිලියන 2,982ක් වූ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී එය සදහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1,661ක් ලෙසයි. 

මේ අතර තවදුරටත් ශී‍්‍ර ලංකාවට වැඩිම අපනයන ආදායමක් උපයා දී ඇත්තේ රෙදිපිළි හා ඇගළුම් හරහායි. එය මුළු අපනයන ආදායමෙන් 47% කට ආසන්න අගයක් වනවා. දෙවන වැඩිම අපනයන ආදායමක් ශී‍්‍ර ලංකාවට උපයා දී ඇත්තේ තේ අළෙවිය හරහායි.  

කෙසේ වෙතත් ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ මුද්‍රණ කර්මාන්තය ආශි‍්‍රත නිෂ්පාදන හරහා උපයාගෙන ඇති අපනයන ආදායමේයි. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී එමගින් උපයා ගැණුනු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4. 9 ක් වූ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී එමගින් මිලියන 11.1 ක අපනයන ආදායමක් උපයාගෙන තිබෙනවා. එහි වර්ධනය ආසන්න වශයෙන් 128% ක්. 

ශී‍්‍ර ලංකාවේ ආනයන වියදමින් වැඩිම ප‍්‍රමාණයක් තවදුරටත් වෙන්වී ඇත්තේ ඉන්ධන සදහායි. එය මුළු ආනයන වියදමින් සියයට 21ක් පමණ වනවා. ආනයන වියදමින් දෙවන වැඩිම කොටස වෙන් වී ඇත්තේ රෙදිපිලි හා රෙදිපිලි උපාංග සදහායි. ශී‍්‍ර ලංකාවේ ආනයන සැලකීමේදී ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව මෙම වසරේ වැඩිම අඩුවීමක් පෙන්නුම් කරන්නේ රත්රන් ආනයනයයි. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී රත්රන් ආනයනය සදහා  රුපියල් මිලියන 345.3ක් වැය වී ඇති නමුත් මෙවර රත්රන් ආනයනය සදහා වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 8ක් පමණයි.