Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට චෝදනා

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු පත්කරනු ලැබ සිටීම සදාචාර විරෝධි බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කළ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කරනවා. 

වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙකු මෙම විශේෂ කාරක සභාවට පත් කිරීමෙන් බැඳියාවන්ගේ ගැටුමක් ඇති වී තිබෙන බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු නියෝජිතයෙකු සිටින බවද ඒ අනුව එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයකට ජනතා විමුක්ති පෙරමුණේම නියෝජිතයෙකු සහභාගී කරවා ගැනීම සදාචාරාත්මක නොවන බවද මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනතා විමුක්ති නියෝජනය කරමින් පත්කරනු ලැබ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්සයි. ඒ අනුව වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා කරන චෝදනාවට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඔහුම ප‍්‍රතිචාර දැක්වූවා. 

මෙවැනි විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි කෙරුණු ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂයද පාර්ශවකරුවෙකු වූ බව මෙහිදී සිහිපත් කෙරුණා. එසේ තිබියදී ඔවුන් මෙම විශේෂ කාරක සභාවට සහභාගී නොවන්නේ ද වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා පෙන්වාදෙන බැඳියාවන්ගේ ගැටුමක් නිසාදැයි දැන් සැක මතුවන බවයි නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ සිය සාක්ෂි විමසීම ආරම්භ කළා. මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක ලබන ජුනි 04වනදා නැවත රැස්වීමට නියමිතයි.