Thursday, May 2, 2024

General line - 0115112241

විසඳුමක් නොදුන්නොත් විදුලි බලාගාර වෙත ඉන්ධන සැපයුම අද අත්හිටුවන බව තෙල් වෘත්තිය සමිති කියයි

කසුන් කැලුම්/දිල්ශාන් තුෂාර




බ්ලූමැන්ඩල් මාවත ප‍්‍රදේශයේ තිබෙන ඉන්ධන ප‍්‍රවාහන නළ මාර්ගයේ මීටර් 140 ක ඉතිරි කොටස ප‍්‍රතිසංස්කරණ කිරීමට ඉඩ ලබානොදුනහොත් අද (30) මධ්‍යම රාති‍්‍රයේ සිට විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම අත්හිටුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා. 

ඔවුන් සඳහන් කළේ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩාව දක්වා දිවෙන ඉන්ධන ප‍්‍රවාහන නළ මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි. 

එහෙත් බ්ලූමැන්ඩල් මාවත ප‍්‍රදේශයේ තිබෙන ඉන්ධන ප‍්‍රවාහන නළ මාර්ගයේ කොටස ප‍්‍රතිසංස්කරණ කිරීමට ප‍්‍රදේශවාසීන් ඉඩ ලබා නොදීම හේතුවෙන් එම කටයුතු ඇණහිට ඇති බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසන්නේ. 

ඒ පිළිබඳ කරුණු දක්වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ වැඩබලන සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ අමාත්‍ය රවී කරුණානායක මෙම වැඩකටයුතු නතර කරන ලෙසට බාධා කරන බවයි

මෙම ගැටළුවට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් සියළු ඛනිජ තෙල් වෘත්තීය සමිති එක්ව දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

උද්ගතව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ජී. ඒ. සමික අදහස් පළ කරමින් සඳහන් කළේ මෙම නළ මාර්ගය අවුරුදු 65ක් පමණ පැරණි බවයි. එම නළ මාර්ගය මේ වන විට අලුතින් එළීම ආරම්භ කර තිබෙන අතර ඉන් වැඩ නිම කිරීමට ඉතිරිව තිබෙන්නේ මෙම මීටර් 140 ක පමණ ප්‍රමාණයක් පමණක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඛනිජ තෙල් වෘත්තිය සමිති සිදුකරන මෙම චෝදනාවලට අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රතිචාර දැක්වුවා. එහිදී ඔහු කියා සිටියේ "ඛණිජ තෙල් නෙමෙයි මොනම දෙයක් වුවත් මගේ ආසනයේ ජනතාවට කිසිඳු අසාධාරණයක් සිදුවීමට ඉඩ දෙන්නේ නෑ" යනුවෙනි.