Monday, May 6, 2024

General line - 0115112241

සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට යයි




සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ බදු දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ දී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබූ බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා තිබුනා. 

මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ (02) සාකච්ඡා කළ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ බදු ඉවත් කිරීම තුලින් සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වන බවයි. මේ පිළිබදව මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බව ද බෝනොවන රෝග පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 

තවද සීනි ග්‍රෑම් 6 ක් අඩංගු පළතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවිමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා (05) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.