Monday, May 6, 2024

General line - 0115112241

ත‍්‍රීකුණාමලයේ සිසු ඝාතන චෝදනාවෙන් STF නිලධාරීන් 13දෙනා නිදහස්

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්




ත‍්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේ සිදුවු සිසු ඝාතනයට අදාල නඩුවේ චෝදනාවලින් විශේෂ කාර්ය බලකා නිලධාරින් 13 දෙනා අද නිදහස් කෙරුණා. ඒ, වසර 06ක් පුරා ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි විභාග වු නඩුව අවසන් කරමින්. 

2006 වසරේ ජනවාරි 02වනදා ත‍්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 05දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් මෙම චෝදනා ගොනු කර තිබුණා. 

සිද්ධියට අදාළව 2006 පෙබරවාරි 14 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

පසුව රදවා ගැනිමේ නියෝග මත මාස 02ක කාලයක් අත්අඩංගුවේ තබා ගෙන සිට, ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පසුව ඔවුන් නිදහස් කෙරුණා. එහෙත් මෙම සිදුවිම සම්බන්ධයෙන් එල්ල වු අන්තර්ජාතික බලපෑම හමුවේ 2013 වසරේ ජුලි 04වනදා මෙම පිරිස යළි අත්අඩංගුවට ගෙන ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.