Thursday, May 2, 2024

General line - 0115112241

විනිසුරු මඩුල්ල ඉදිරියේ මරණ දඬුවම අභියෝගයට ලක් කළ පෙත්සම විභාග වේ

අධිකරණ වාර්තාකරු




බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර විභාගය අද (04) හතරවෙනි දිනටත් අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කෙරුණා.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල  වෙංගප්පූලි යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා සිය කරුණු ඉදිරිපත් කළා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පවසා සිටියේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බන්ධනාගාර බලධාරීන් ඉටුකරන්නේ ඔවුන්ට පැවරී ඇති රාජකාරීන් මිස ඔවුන්ගේ අභිමතයන් අනුව නොවන බවයි.

පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (05) දිනට කල් තබන ලදී.

මෙම පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක්කර ඇති බැවින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් මෙම පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොවන බවත් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් අභියෝගයට ලක්කරන බව පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මෙම සතිය තුළ  සිදු නොකරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගිය සිකුරාදා  අභියාචනාධිකරණයේදී පවසා සිටියා.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මරණ දණ්ඩණය ක්‍රියාත්මක වීම  වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා සිටිමින්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා  සහ නීතිපතිවරයා නම් කර සිටිනවා.

මේ වන විට මරණීය දණ්ඩනය නියමවී  සිටින පුද්ගලයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි පෙත්සම්කරු පවසා සිටියි.

මෙම ක්‍රියාදාමය තුළින් පුද්ගලයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු පවසා සිටිනවා.