Thursday, May 2, 2024

General line - 0115112241

සාකච්ඡා යයි - දුම්රිය නොයයි

තරංග රුක්ෂාන් /ලහිරු කපුගේ




දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට සියලූ දුම්රිය වෘත්තීය සමිති එක්ව මෙම වැඩ වර්ජනය ආරම්භ කළ අතර මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය වී නැහැ.

අද (04) උදෑසන ධාවනය වීමට තිබූ කිසිදු කාර්යාල දුම්රියක් ද ධාවනය නොවු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අද උදෑසන දුම්රියෙන් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමට සිටි පාසල් දරුවන්, කාර්යාල සේවකයින් සහ සංචාරකයින් ද දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි. දිවයින් පුරා දුම්රිය ස්ථානවලද දක්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්.

මේ වනවිටත් ක‍්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. කෙසේවෙතත් ඒ සඳහා දුම්රිය වෘත්තීය සමිති කැඳවා නැහැ. ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත සඳහන් කළේ ප‍්‍රවාහන බලධාරීන් සමග පළමුව මෙම සාකච්ඡාව සිදු කරන බවයි. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ද කැඳවා තිබෙනවා. 

කෙසේවෙතත් දුම්රිය වර්ජනය නතර කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. ටී. විතානගේ කියා සිටියේ. 

බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමිනුයි දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වෙනත් අයෙකු එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් ඇති බවත් ඔවුන් චෝදනා කරනවා. කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. 

මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් කළ විමසීමක දී ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ ගැටළුවට අදාළ සාකච්ඡාව තවදුරටත් පැවැත්වෙන බවයි.