Thursday, May 2, 2024

General line - 0115112241

කුණු ගෙනා කන්ටේනර් 1000ක් ගැන පරික්ෂා කරන්නැයි අධිකරණයෙන් රස පරීක්ෂකවරයාට නියෝගයක්

අධිකරණ වාර්තාකරු




එක්සත් රාජධානියේ සිට මෙරටට අපද්‍රව්‍ය සහ කැළි කසල කන්ටේනර් ඇතුළු ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති නිශ්කාශනය නොකරන ලද කන්ටේනර් 1000 ට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් වහා පරික්ෂා කොට වාර්තාවක් සපයන ලෙසට අභියාචනාධිකරණය අද (29) රස පරීක්ෂකවරයාට නියෝග කළා .

මේ අතර එක්සත් රාජධානියේ සිට මෙරටට අපද්‍රව්‍ය සහ කැළි කසල කන්ටේනර් පරිසරයට හානියක් නොවන ආකාරයට හෙට (30) දක්වා රදවා තබා ගැනීමට කටයුතු කරන බවට නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා. ඒ අනුව කොළඹ වරාය සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා ඇති කසළ කන්ටේනර් පරිසරයට මුදා නොහැර ඒ අකාරයෙන් පැවතීමට ඉඩහැරීමට නීතිපතිවරයා එකගතාවය පලකර තිබෙනවා.

ඒ අනුව පසුගිය දිනක එක්සත් රාජධානියේ සිට මෙරටට අපද්‍රව්‍ය සහ කැළි කසල ආනයනය කිරීමට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම හෙට දින සලකා බැලීමට දින නියම කරන ලදී .

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන් ඉදිරියේ කැදවන ලදී . එම පෙත්සම පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙසට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

එක්සත් රාජධානියේ සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල අඩංගු බහලුම් සිය ගණනක් මෙරට ගබඩා කර ඇති බවත් ඒ මගින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ඉතා අයහපත් ලෙසට බලපෑම් සිදු විය හැකි බවට පෙත්සම්කරු පවසා සිටියි.

මෙම කැළි කසල මෙරටට ආනයනය කිරීම නීති විරෝධී බවත් ඒවා ගෙන්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇති බවට පෙත්සම්කරු චෝදනා කර සිටියි. දැනට ආනයනය කොට තිබෙන රෝහල් අපද්‍රව්‍ය සා කැළි කසල වෙනත් ස්ථාන වලට බැහැර කිරීමෙන් වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි.