Monday, April 29, 2024

General line - 0115112241

පැල්මඩුල්ලේ කෝටි 03ක මැණික් හා රන් බඩු මංකොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




පසුගිය ජුලී මස 27 වෙනිදා රාත්‍රියේදී පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේප්පුවකින් කෝටි 3 ක් පමණ වටිනා මැණික් ගල්, රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගල‍යින් 5 දෙනෙක් පැල්මඩුල්ල පොලිසිය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අදාළව රත්නපුර පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණයෙන් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂන සිදුකර තිබෙනවා.

ඒ අනුව රත්නපුර ප්‍රදේශවල මැණික් වෙන්දේසි සිදු කරන ස්ථානවලට පොලිසිය විසින් ඔත්තුකරුවන් යොදවා තොරතුරු ලබා ගෙන ඇත.

එහිදී ලැබු තොරතුරක් මත රත්නපුර නගරයේ මැණික් වෙන්දේසියකට මෙම ආයතනයෙන් සොරකම් කරන ලද බවට සැක කරන මැණික් කිසියම් පුද්ගලයෙකු විසින් එම වෙන්දේසියට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම පුද්ගලයාගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කිරිමකට ලක් කර ඇත.

පසුව සොරකමට අදාළ සියළු තොරතුරු අනාවරණය කර ගැනිමට පොලිසිය සමත්ව තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 ‍දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගනු ලැබු පිරිස අතර ගුරුවරුන් දෙදෙනෙක් හා දෙදෙනෙකු හමුදා සෙබළුන් දෙදෙනෙක්ද සිටින බව පොලිසිය සදහන් කර සිටියි.

එමෙන්ම ඔවුන්ගෙන් සිදුකල විමර්ශනවලදී ද සොරකම් කරන ලද රුපියල් කෝටි 1.5කට ආසන්න වටිනා මැණික් ගල් 604 ක්, මුදලින් රුපියල් 447,000 ක් හා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ පවුම් 62 ක් ද එම සොරකමට උපයෝගී කර ගත් ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් සොයා ගැනිමට පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් 5 දෙනාගෙන් දෙදෙනෙකු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් අය කිරිඳිවල, ලුණුගම්වෙහෙර හා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රත්නපුර පොලිස් අධිකාරීව සුදත් මාසිංහගේ මෙහෙයවීම මත පැල්මඩුල්ල පොලීසිය විසින් සිදු කරයි.