Saturday, May 11, 2024

General line - 0115112241

හිටපු මහබැංකු අධිපතිට එරෙහිව වරෙන්තු නිකුත් කරයි

දිනුක් හේවාවිතාරණ




මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කලේ.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන විසින් සිදු කරනු ලැබු ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්ය.

එහිදි නිතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මඟහැර විදේශයකට පළාගොස් සිටින බැවින් ඔහු හිතාමතාම අධිකරණය මඟහැර සිටින බවට පෙනී යන හෙයින් ද ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා මුල් අවස්ථාවේදීම වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කරනු ලැබ සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද මේ වන විට අධිකරණය මඟහැර සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු වෙනුවෙන් සිතාසියක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත්දා ඉල්ලීමක් කර සිටියා.

එම විත්තිකරු සඳහා සිතාසියක් නිකුත් කර තිබෙන අධිකරණය ඒ පිළිබඳව වාර්තාවක් දෙසැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ද නියම කර සිටියා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල,  මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කර ඇත.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට ඇත.