Monday, April 29, 2024

General line - 0115112241

එජාපය ප්‍රතිවාදී අපේක්ෂකයා ගැන කතා කරයි

ඩිල්ෂාන් මඩවල /හර්ෂිකා සංජීවනි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සහ කරන්නේ යළිත් රටේ බලය පවුලකට පවරාදීමට බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිචාරය කුමක්දැයි නෙත් නිවුස් කළ විමසීමකදීයි අමාත්‍යවරයා ඒ බව පැවසුවේ. 

ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි කිහිපදෙනෙකුම එක්සත් ජාතික පක්ෂය සතුව සිටීනම්, අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් ප‍්‍රමාද කරන්නේ මන්දැයි අමාත්‍ය දයා ගමගේගෙන් නෙත් නිවුස් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්න කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණය නම් කිරීමෙන් පසු අපේක්ෂකයා නම් කිරීම බවයි." යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයාට පරාජය කිරීමට පහසුම ප‍්‍රතිවාදී අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊයේ කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවයි.