Tuesday, April 30, 2024

General line - 0115112241

ජවිපෙ අපේක්ෂකයා නිසා ඇති වාසි අවාසි ගැන අනෙක් පක්ෂ කතා කරයි

තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු නම් කිරීම එක්සත් ජාතික පක්ෂයට අවාසියක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට මීට පෙර හිමිවූ ඡන්ද ලක්ෂ 07 ක් පමණ මෙවර ජනාධිපතිවරණයේදී අහිමි වනු ඇති බවයි. 

කෙසේවෙතත්, ජනතා විමුක්ති පෙරමුණ ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් තම පක්ෂයට කිසිඳු පාඩුවක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා ප‍්‍රකාශ කළේ ප‍්‍රබලම අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය බවයි. 

එළඹෙන ජනාධිපතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද සකස් කරමින් ඇති බවයි. 

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදි පක්ෂය ද තීරණය කර තිබෙනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳ ඉදිරියේදී රට හමුවේ අනාවරණ කරන බවයි. 

ජනාධිපතිවරණයේදී කිසියම් හෝ බලපෑමක් සිදු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයාට හැකි වේදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එහිදී රටේ සැබෑ ගැටලු සම්බන්ධයෙන් ජනතාව තුළ සැබෑ මතවාදයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපතිවරණයට තරග වදින බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.