Saturday, May 11, 2024

General line - 0115112241

පාස්කු පිපිරීම්වල වාර්තා අධිකරණ වෙත

දිනුක් හේවාවිතාරණ




අප්‍රේල් 21 එල්ල වු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වාර්තා ලබන සතියේ සිට අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍ර 3ක සිදුවූ පිපිරීම්, කොච්චිකඩේ, මීගමුව, කටුවාපිටිය සහ මඩකලපුව සියෝන් යන දේවස්ථානවල සිදුවූ පිපිරිම් සම්බන්ධයෙන් සහ සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තා එලෙස ඉදිරිපත් කිරිමට නියමිතයි.

රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග ගෙන් සිදුකල විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ විමර්ශන වාර්තා අතුරින් කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පිපිරීමට අදාළ වාර්තාව පළමුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම අනෙකුත් වාර්තාද කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම පිපිරිම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිමට රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් 07ක් පත් කරනු ලැබුවා.
 
මෙම සියලු බෝම්බ ප්‍රහාරයන් සඳහා යුරියා නයිට්‍රේට් නැමති පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව සිදුකළ විමර්ශනවලින් හෙලිවී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කළා.