Thursday, May 16, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රිවරු 71න් 51ක් එක මතයක - ලිපිය භාර දීමටත් සියල්ල සූදානම්

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන්/දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබා දෙන්නැයි ඉල්ලමින් සකස් කෙරුණු විශේ්ෂ ලිපියක් පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබාදීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ ලිපියට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 71 දෙනෙකුගෙන් 51 දෙනෙකුම දැනටමත් අත්සන් තබා ඇති බවයි. ඊට පළමුව අත්සන් තබා ඇත්තේ අමාත්‍ය මලික් සමරවික‍්‍රම බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. සිරිනාල් ද මෙල් මන්තී‍්‍රවරයා ඊට අවසන් වරට අත්සන් තබා ඇති බව සඳහන්.

අදාළ ලිපිය අද (09) දිනයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදීමටයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන මන්තී‍්‍රවරුන් පිරිස තීරණය කර ඇත්තේ. 

මීට පෙර ද මෙම මන්තී‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක් භාර දුන්නා. ඒ, ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්තී‍්‍ර කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින්. එහෙත්, ඊට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අත්සන් සහිත තවත් ලිපියක් භාරදීමටයි තීරණය කෙරුණේ.

මෙලෙස ලිපි භාරදීමෙන් පමණක් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂත්වයට පත් කරනු ඇතැයි විශ්වාසයක් පවතින්නේ දැයි නෙත් නිවුස් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "තවත් කල් ගන්නේ නැතුව අගමැතිවරයා යම් සාධාරණ තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. කොයි විදිහටද පක්ෂයේ සාමාජිකයන්ගේ මතය තියෙන්නේ කියලා අපි පැහැදිළිව පෙන්නලා තියෙන්නේ." යනුවෙනි.

කෙසේවෙතත්, ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසනවා. ඔවුන් කියාසිටියේ අවසන් තීරණය ගත හැක්කේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවයි. එහෙත්, කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන දිනයක් ද මෙතෙක් නිශ්චිත වශයෙන් ප‍්‍රකාශයට පත්වී නැහැ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ නුදුරු දිනකදීම කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට ඉඩ ඇති බවයි. 

පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් ඊයේ (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය පසුව කල් දැමුණා. එම සාකච්ඡාව හෙට (10) දිනයේ පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.