Monday, May 6, 2024

General line - 0115112241

හකීම් ඡායාරූප කිහිපයක් පෙන්වීමට සූදානම්




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. වාර්තාව ඉදිරිපත් කළේ විශේෂ කාරක සභාවේ උප සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නයි. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේ මැතිවරණයට පෙර වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බවයි.

විවාදයක් ලබාදීමට සූදානම් බව එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළා. 

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අමාත්‍ය රාවුෆ් හකීම් හා සහරාන් හෂීම් එකට සිටින වීඩියෝව සම්බන්ධයෙන් ද අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ කාදිනල්තුමා දැනටමත් මේ පරීක්ෂණ කමිටුව පිළිගත නොහැකි පරීක්ෂණ කමිටුවක් ලෙස ප්‍රකාශ කර තිබියදී මෙය රට පිළිගන්නේ කෙසේද යන්නයි.

අමාත්‍ය රාවුෆ් හකීම් පසුව පාර්ලිමේන්තුව ඇමතුවා. එහිදී "මට විරුද්ධව මෙවැනි චෝදනාවක් එල්ල වෙලා නෑ. අපි ඉල්ලා අස්වෙද්දිත් අපිට කිසිම චෝදනාවක් නෑ කියලා කියපු අය..දැන් චෝදනා කිරීම ගැන මම කණගාටු වෙනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි චෝදනා එල්ල කිරීම ගැන. අද සවස් වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මං ඡායාරූප ටිකක් පෙන්වන්නම්.. ඒක බලලා මට ඇඟිල්ල දික් කරන්න. " යනුවෙන් සඳහන් කළා. 

පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ අන්තවාදීන්ට උදව් කළ බවට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි. 

මේ අතර 2020 වසරේ පළමු මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින්. නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සඳහා අයවැය සම්මත කර ගන්නා තෙක් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කෙරුණා.