Thursday, May 2, 2024

General line - 0115112241

වලපනේ නායයාමෙන් මියගිය ගණන 04 ක් වෙයි. - සාමාන්‍යපෙළ බලාපොරොත්තුවකුත් ඒ අතර

රංජිත් රාජපක්ෂ - හැටන්




නුවරඑළිය වලපනේ මූන්වත්ත මළපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් මියගිය ගණන 04 දෙනෙකු දක්වා වැඩි වී තිබෙනවා. මියගිය තුන්දෙනෙකුගේ සිරුරු මීට පෙර සොයාගෙන තිබුණු අතර, අතුරුදන් වී සිටි පාසල් සිසුවාගේ සිරුර පස්වරුවේ සොයාගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පවසන්නේ. මෙම සිසුවා හෙට (02) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අයෙක්. ඔහු වලපනේ සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකු වනවා. 

නායයාම සිදු වූ ස්ථානයේ තිබී මීට පෙර සිරුරු සොයා ගැනුණේ මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරියගේ, මිත්තණියගේ සහ මුත්තණුවන්ගේයි. මියගිය තරුණිය 17 වන වියේ පසු වුණා. සිරුරු සොයා ගැනීම සඳහා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කළේ ශ්‍රී ලංකා යුද හමුදාවයි.

මේ අතර වැසි ආපදා හේතුවෙන් මේ වනවිට පවුල් 1,156 ක පුද්ගලයින් 4,126 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික්ක 08 කට බලපෑම් ඇති වී තිබෙන අතර වැඩිම බලපෑමක් ඇති වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි. එහි ආරක්ෂිත ස්ථාන 04 ක් ද ආරම්භ කර ඇති අතර අවතැන් වූවන් 569 දෙනෙකු ඒවායේ රැඳී සිටිනවා.  

මහ වැසි සමග ජල මට්ටම ඉහළ යාම නිසා ඇතැම් වැව් මේ වනවිටත් වාන් දමමින් තිබෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසවේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමක් පවතිනවා. ඒ අනුව බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට ද කටයුතු කෙරුණු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. කළු ගඟේ මිල්ලකන්ද ජල මාපකයේ ද ජල මට්ටම, ගංවතුර අවදානම් මට්ටමට වැඩි වී තිබෙනවා. නිල්වලා ගඟ ද පානදුගම ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමට පැමිණ ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

රත්නපුර, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් පිළිබඳව ද විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිහිපත් කළා.

මේ අතර ඉදිරි දින කිහිපයේදී ද රට පුරා බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. යාපනය, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ක පමණ තද වැසි ද අපේක්ෂා කෙරෙනවා. රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මිලි මීටර 100 ක පමණ වැසි ලැබිය හැකියි. ප්‍රබල අකුණු සහ වරින් - වර තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.