Thursday, May 2, 2024

General line - 0115112241

ආබාධ සහ අසනීප නිසා ශ්‍රී ලංකාවේ සාග් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් බිඳ වැටෙන ලකුණු




ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධවලට සහ අසනීප තත්ත්වන්ට ලක්වීම හේතුවෙන් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකික පදක්කම් බලාපොරොත්තු කිහිපයක් අවදානමට ලක්ව තිබෙනවා. අද පැවැත්වෙන මීටර් 200 කාන්තා ධාවන තරගයට සහභාගී වීමට නියමිතව සිටි නදීශා රාමනායක ද අසනීප තත්ත්වයෙන් පසුවන බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ.

ඒ අනුව ඊයේ පැවැති මීටර් 100 කාන්තා ධාවන තරගයේදී රිදී පදක්කම දිනා ගත් අමාශා ද සිල්වා අද පැවැත්වෙන මීටර් 200 කාන්තා තරගයට සහභාගී වනු ඇති. මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව සඳහා ද ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට නම් කර සිටියේ අසනීප තත්ත්වයෙන් පසුවන නදීශා රාමනායක ක්‍රීඩිකාවයි. මීටර් 400 කාන්තා සහය දිවිමේ කණ්ඩායමට ද ඇය ඇතුළත්ව සිටිනවා. එම ඉසව් දෙක සඳහා නදීශා රාමනායක සහභාගී වන්නේදැයි තවමත් තීරණය කර නැහැ. 

මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වට සහභාගීවීමට නියමිතව සිටින උපුල් කුමාර ක්‍රීඩකයා ද අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කර සිටිනවා. 

තුන්පිම්ම, කාන්තා ඉසව්ව සඳහා නම් කර සිටි එම ඉසව්වේ ජාතික ශූරිය ද වන විදූෂා ලක්ෂානි ද අසනීප තත්ත්වයක් නිසා විවේක ගැන්වීමට තීරණය කර ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ. ඒ අනුව දුර පැනීමේ ඉසව්ව සඳහා නම් කර සිටින සාරංගි සිල්වා ක්‍රීඩිකාව තුන්පිම්ම ඉසව්ව සඳහාද සහභාගී වනු ඇති.  

ශ්‍රී ලාංකික ක්‍රිඩික ක්‍රිඩිකාවන් මෙලෙස ආබාධවලට සහ අසනීප තත්ත්වයන්ට ලක්ව ඇත්තේ පවතින අධික සීතල නිසා බව පැවසෙනවා. උපරිම දක්ෂතා අතරට පැමිණීමට ද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධික ශිතල බාධාවක් වී ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

කෙසේවෙතත්, මෙවර දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රිදී පදක්කමක් දිනාදීමට කුමා ශන්මුගේෂ්වරම් ක්‍රීඩකයා අද සමත් වුණා.  ඔහු එම දක්ෂතාව දැක්වූයේ මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේදීයි. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙනවා.