Monday, April 29, 2024

General line - 0115112241

බදියුදීන්ගේ සිද්ධිය ගැන පරීක්ෂණ අරඹයි




පාස්කු ප‍්‍රහාරයෙන් පසු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැතුම් ලබා දී විමසීමක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා, හිටපු හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත විසින් මීට පෙර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක යන පාර්ශ්වයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක එම කාල සීමාවේදී මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුයුදීන් දුරකතනයෙන් තමන්ව අමතා අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු විමසූ බවයි.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  හිටපු අමාත්‍ය බදියුදීන් ප‍්‍රකාශ කළේ තමන් දුරකතනයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳ හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් සිදු කළ බවයි.  

මෙම සිදුවීම පිළිබඳ වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් පරිදි බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.