Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා නිසා දකුණු කොරියාවේත් හදිසි තත්ත්වයක්




කොරෝනා හෙවත් කොවෙඞ් නයින්ටීන් රට තුළ පැතිර යාම පාලනය කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කිරීමට දකුණු කොරියාව පියවර ගෙන තිබෙනවා. ඒ, අඛණ්ඩව දෙවන දිනටත් දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමගයි. අද නිකුත් වූ විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ අලුතින් වෛරසය ආසාදනය වූවන් 52 දෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වී ඇති බවයි. අද වාර්තා වූ මෙම ආසාදිතයින්ගෙන් 41 දෙනෙකු ඬේගු නගරයේ වැසියන්. 

එම නගරයේ මෙන්ම චෙයැන්ග්ඩෝ නගරයෙන්ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම නගර දෙකම විශේෂිත සෞඛ්‍ය කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊයේ දිනයේද දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 53 දෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වුණා. ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති ඬේගු නගරය දකුණු කොරියානු සෝල් අගනුවරට කිලෝමීටර් 300 ක් ගිණිකොන දෙසින් පිහිටි ප්‍රධාන නගරයක්.

දකුණු කොරියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක්. එය සැලකෙන්නේ චීනයෙන් පසු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙසයි. කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ පළමු මරණය ඊයේ වාර්තා වුණා. 

හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව සියළු හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර ඔවුන් රැදී සිටින ස්ථානවල රදවා විශේෂ සෞඛ්‍ය පරීක්‍ෂාවකට ලක් කිරීමයි පියවර ගෙන ඇත්තේ.

එරට අග්‍රාමාත්‍ය චැන්ග් සයි ක්යැන් පවසන්නේ රට තුළ මේ වනවිට මතුවෙමින් ඇති තත්ත්වය හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කරන බවයි. මෙම තත්ත්වය සළකා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පියවර ගෙන ඇත්තේ. ඒ අනුව දැනට රෝගය ආසාදනය වී ඇති පුද්ගලයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සොයා ඔවුන්ද පරීක්‍ෂා කිරීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු ආරම්භ කර තිබෙනවා. 

මේ අතර චීනයේ හුබේ ප්‍රදේශයෙන්ද නව කොරෝනා ආසාදිතයින් 889 දෙනෙකු හමුවී තිබෙනවා. අලුතින් පුද්ගල මරණ 118 ක් ද වාර්තා වී ඇතැයි සදහන්. ඒ අනුව මේ දක්වා ලොවපුරා කොරෝනා ආසාදිතයින් 76,738 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,247 ක්.