Monday, May 6, 2024

General line - 0115112241

ලොව ලාබාලතම කොරෝනා ආසාදිතයා එංගලන්තයෙන් සොයා ගැනේ




ලොව මෙතෙක් වාර්තා වූ ලාබාලතම නව කොරෝනා ආසාදිතයා අද බි‍්‍රතාන්‍යයන් වාර්තා වුණා.

මෙලෙස එම වෛරසය ආසාදනය වී ඇත්තේ බි‍්‍රතාන්‍යයේ අලූත උපන් බිළිඳෙකුටයි. බිළිඳා උපත ලැබීමට පෙර නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් එම බිළිඳාගේ මව රෝහල්ගත කර තිබුණා.

එහිදී ඇය සිය දරුවා ප‍්‍රසූත කර ඇති අතර ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණේ දරු ප‍්‍රසූතියෙන් පසුවයි.

ඒ් අනුව මව වෙනත් රෝහලකට මාරු කර යැවූ වෛද්‍යවරුන් බිළිඳාට ද වෛරසය ආසාදනය වී ඇත්දැයි සැකපිට පරීක්ෂණ සිදුකර තිබුණා. එහිදී තහවුරු වී ඇත්තේ අලූත උපන් බිළිඳාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

එහෙත් බිළිඳාට එම වෛරසය ආසාදනය වූයේ කළලයේ සිටියදී ද, නැතහොත් උපතේදී ද යන්න අනාවරණ කර ගැනීමට වෛද්‍යවරුන්  මෙතෙක් සමත්වී නැහැ. කෙසේවෙතත් බිළිඳාගේ මව බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

එංගලන්තය ද ඇතුළුව සමස්ථ බි‍්‍රතාන්‍යයෙන්ම මේවනවිට නව කොරෝනා ආසාදිතයින් 798 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ පුද්ගල මරණ 11 ක්ද සමගයි. 

මේ අතර ඉදිරි සති 02 ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි සියලූ ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සවුදි රජය තීරණය කර තිබෙනවා. එය හෙට සිට කි‍්‍රයාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති අතර එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක්.