Tuesday, April 30, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය මාස 18 ක කාලයක් සඳහා වසා දමන්න වේවි : විශේෂඥයින් රජයට අනතුරු අඟවයි (PHOTOS)




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සහ මේ දක්වා ඊට එන්නතක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බ්‍රිතාන්‍යය මාස 18 ක කාලයක් සඳහා වසා දැමීමට සිදුවනු ඇති බවට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ප්‍රධාන පෙලේ මහාචාර්යවරයෙක්  එරට රජයට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියේ සියලු පුරවැසියන් සමාජගත වීම නැවැත්විය යුතු බවත් සියලු අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකෙන ලෙසයි.  එමෙන්ම සියලු දෙනාට තම නිවෙස් වල සිට වැඩ කරන ලෙසත් යම් හෙයකින් පුද්ගලයෙකුට කොරෝනා වෛරසයට සමානකම් කියන රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් එම පවුලේ සියලු දෙනාම ස්වයං නිරෝධායනය විය යුතු බවට උපදෙස් ලබාදුන්නා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරික්ෂණයන් සිදුකරන ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සඳහන් කර සිටියේ එරට රජය මෙවැනි තීරණයක් නොගත්තේ නම් ඉතාලියේ පවතින තත්ත්වය සමග සැසදීමේදී  අවම වශයෙන් බ්‍රිතාන්‍ය පුරවැසියන් 250,000 කට අධික පිරිසක් වෛරසයෙන් මියයාමේ අවධානමක් පැවතිය බවයි.

බ්‍රිතාන්‍යයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මහාචාර්ය Azra Ghani ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට මේ දක්වා කිසිදු එන්නතක් සොයා ගෙන නොමැති බැවින් ඒ සඳහා තවත් මාස 12 ක් හෝ 18 ක් කාලයක් ගත වෙනු ඇති බවයි. ඒ හේතුවෙන් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයට අවශ්‍ය සියලු පියවර ගැනීමට සිදුවෙනු ඇති බවයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය Chris Whitty සඳහන් කර සිටියේ කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය දීර්ඝ කාලයක් සඳහා වසා දැමීමට සිදුවනු ඇති බවයි.

" මහජනතාව ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තේරුම් ගත යුතුයි. මන්ද මෙය කෙටිදුර ධාවන තරගයක් නොවෙයි. ඒ හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් මනා අවබෝධයකින් සහ වැටහීමකින් කටයුතු කළ යුතු වනවා" බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියා.

නගර වසා නොදමුවත් මේ වන විට බ්‍රිතාන්‍යයේ නගර රැසක් ජන ශුන්‍ය සොභාවයක් උසුලන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.