Wednesday, May 1, 2024

General line - 0115112241

අකුරණ කොරෝනා ආසාදිතයා ආගිය තැන් පිළිබද තොරතුරුත් එළියට

කමල් සුරවීර/ජූඩ් සමන්ත




නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු බැගින් හදුනා ගැනීම හේතුවෙන් අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ගම්මානය සහ පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක් වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

අකුරණ ප‍්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පුතා, දියණිය සහ බෑණාද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට අද (29) ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ නූර් මොහොමඞ් නිස්තාර් නම් අකුරණ ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ආගිය තැන් පිළිබදවද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඉකුත් 15 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මොහු සමග මෙරටට පැමිණි ඔහුගේ මිතුරා නිරෝධායනය සඳහා යොමුව ඇති බවද වාර්තා වුණා.

නිරෝධායනයට යොමු නොවූ මෙම පුද්ගලයා ගෙලිඔය ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකටද ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ. එමෙන්ම ඔහු ගම්පොල පාවහන් අළෙවි සැලකටද ගොස් ඇති බව සිදුකළ පරීක්‍ෂණවලදී  අනාවරණ වී තිබෙනවා. වෛද්‍යවරුන්ට තොරතුරු වසන් කළ මෙම පුද්ගලයා ඊයේ (28) රෝහල්ගතවීම සදහා මහනුවර රෝහලට පැමිණ ඇත්තේ යතුරු පැදියකින්. මොහු ව්‍යාපාරිකයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

ඔහු පදිංචිව සිටි අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ පවුල් 347 ක් වෙසෙන අතර මේ වනවිට එම පවුල්වලට අයත් සියළු දෙනා දින 14 ක් සිය නිවෙස්වල නිරෝධායනයට ලක් කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබෙනවා. එම ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධක 10 ක් යොදා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ ජංගම මුර සංචාරද ආරම්භ කර ඇති බවයි ආරක්‍ෂක අංශ පැවසුවේ.

මේ අතර පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනා ගැනීමත් සමග වසා දැමුණු එම ගම්මානයේ සිටි පුද්ගලයින් නිරෝධායනය සදහා ප‍්‍රදේශයේ පාසලක් වෙත යොමු කර තිබෙනවා.