Thursday, May 2, 2024

General line - 0115112241

පාසල් විවෘත කිරීමේ දිනය තීරණය කිරීමේ බලය පළාත් කමිටුවකට පැවරේ




ජාතික මට්ටමේ නිර්දේශ මත පදනම්ව පළාත් මට්ටමින් පාසල් නැවත විවෘත කිරීම පිළිබද අවසන් තීරණය ගැනීමේ බලය පළාත් කමිටුවක් වෙත පවරා තිබෙනවා. 

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින්. පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අතුරු මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් යොමු කරනු ලැබ තිබෙනවා. 

ඒ අනුව ඊට අදාළ චක‍්‍රලේඛය ලබන සදුදා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන්ට යැවීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

පාසල් නැවත විවෘත කිරීමේ අවසන් තීරණය ගනු ලබන්නේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, දිස්ති‍්‍රක් ලේකම් සහ අනෙකුත් නිර්දේශිත නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින්. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතුරු මාර්ගෝපදේශයේ සදහන් කර ඇත්තේ පාසල් විවෘත කිරීම පියවර කිහිපයකට සිදුකළ යුතු අතර සෞඛ්‍ය තත්ත්වය පිළිබද සුපරික්‍ෂණය කරමින් ක‍්‍රමිකව විවෘත කරන පාසල් ප‍්‍රමාණය වැඩි කළයුතු බවයි. 

ඒ අනුව පළාත් කමිටු විසින් පළමුව විවෘත කළ යුතු පාසල්, විවෘත කරන දිනය, ඒ ඒ පාසල්වල මුලින් ආරම්භ කරන ශ්‍රේණි, පාසල් සතියකට විවෘත කරන දින ගණන, පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාව තීරණය කරනු ඇති.

එමෙන්ම රෝග පැතිරීමක් නිරීක්‍ෂණය කළ විට නැවත පාසල වසා දැමීමට අවශ්‍ය කි‍්‍රයා පටිපාටිය පිළිබදවද මෙහිදී තීරණය කළ යුතුයි. කොවිඞ් ආසාදනය වලක්වා ගැනීමේ කි‍්‍රයාවලිය පිළිබද සලකා බැලීමෙන් පසු පළමුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත කිරීම පිළිබදව එම කමිටුවලින් ප‍්‍රමුඛතාවය ලබාදෙනු ඇති.
 
දිනකට පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව සහ පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාවද මෙහිදී තීරණය කිරීමට නියමිතයි. සිසුන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ ශාරීරික දුරස්ථභාවය පවත්වා ගෙන යායුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා. පාසල් පරිශ‍්‍රය තුළදී අත් පිරිසිදු කිරීම සදහා අවම සනීපාරක්‍ෂක පහසුකම් ඇති බවට හා ශාරීරික දුරස්ථභාවය සුරකින බවට අදාළ පළාත් කමිටුව විසින් තහවුරු කළ යුතුයි.

පාසල් නැවත ආරම්භ කර පළමු සතිය තුළ දිනපතා පාසල් සහ ශ්‍රේණිවල තත්ත්වය පාසල් කණ්ඩායම් පරීක්‍ෂා කළ යුතු වනවා. අධ්‍යාපන හා සෞඛ්‍ය  නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මගින් මසක් යන තුරු සතියකට වරක් පාසල් පරීක්‍ෂා කළ යුතුයි. 

පාසල් ආරම්භ කර පළමු මාසය තුළ ආරම්භ නොකළ පාසල් හෝ ශ්‍රේණි පිළිබද විවෘත කිරීම පිළිබද පළාත් කමිටුව විසින් සාකච්ඡුා කළයුතු බවටද නිර්දේශ කර තිබෙනවා. 

නැවත ආරම්භ වන පාසල් හෝ ශ්‍රේණි ක‍්‍රමානුකූලව ඉහළ නැංවිය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් පාසල් විවෘත කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.