Thursday, May 2, 2024

General line - 0115112241

රට විවෘත කිරීමට සුදානම්, එනමුත් සුපුරුදු ජනජීවිතය නැහැ - ජනතාව රැකගන්න සෞඛ්‍ය නීති රැසක් පැනවේ




ඇදිරි නීතිය ලිහිල් කළද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇති දැඩි අවධානය ලිහිල් නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රට විවෘත කිරීමෙන් පසු කොරෝනා රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බවයි. 

එය වළක්වා ගත හැක්කේ ජනතාව තවදුරටත් සුපරික්‍ෂාකාරීව කටයුතු කිරීමෙන් පමණක් බවද මෙහිදී අවධාරණය කෙරුණා. ආයතන විවෘත කිරීම සදහා ලබාදෙන නිර්දේශ එලෙසම කි‍්‍රයාවට නංවන ලෙසටයි වෛද්‍යවරුන් සියළු පාර්ශවයන්ට දැනුම් දෙන්නේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සදහන් කළේ රෝගයේ අවදානම සැලකිල්ලට ගනිමින් තවදුරටත් රට වසා තැබීමට නොහැකි බවයි. ලෝකයේ සෙසු රටවලින් ඒ සදහා උදාහරණ ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා. 

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමටයි රජයේ අවධානය යොමුවී ඇත්තේ. ප‍්‍රධාන වශයෙන් රජයේ සහ පෞද්ගලික ආයතන විවෘත කිරීමට එහිදී අවස්ථාව ලැබෙනු ඇති. 

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශනයකට යටත්වයි. කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා හා රාජකාරී හැර හැකිතාක් නිවසින් බැහැර නොයන ලෙස සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ ජනතාවට තවදුරටත් දැනුම් දෙනවා.

සදුදා සිට ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ ආහාර සහ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි. එලෙස පිටත්ව යාමේදීද ජාතික හැදුනුම්පතේ අංක ක‍්‍රමය කි‍්‍රයාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව එළඹෙන සදුදා නිවසින් බැහැරව යාමට හැකි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක ලෙස අංක 1 හෝ 2 සදහන් පුද්ගලයින්ට පමණයි. අවසන් අංකය ලෙස 3 හෝ 4 සදහන් පුද්ගලයින්ට අගහරුවාදා දිනයේත් 5 හෝ 6 සදහන් පුද්ගලයින්ට බදාදා දිනයේත් නිවසින් බැහැරට යාමට හැකි වනවා. 

බ‍්‍රහස්පතින්දා දිනයේ නිවසින් බැහැරට යාමට හැකි වන්නේ හැදුනුම්පතේ අවසාන අංකය ලෙස 7 හෝ 8 සදහන් පුද්ගලයින්ට පමණයි. 9 හෝ බින්දුව සදහන් පුද්ගලයින්ට සිකුරාදා දිනයේ නිවසින් බැහැරට යාමට හැකි වනවා. 

කෙසේවෙතත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට ගියද මෙම අංක ක‍්‍රමය උපයෝගී කර ගනිමින් දුර බැහැර ගමන් වල නොයෙදෙන ලෙසයි. 

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක අවස්ථාවේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක අනුව නිවසින් බැහැරට යාමේ ක‍්‍රමවේදය කඩකරන පුද්ගලයින්ට ඇදිරි නීතිය කඩකලා සේ සළකා කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. රාජකාරී සදහා යාමේදී මෙම ක‍්‍රමය අදාළ නොවන බවද ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර කොළඹ කොටස් වෙළදපොල එළඹෙන 11 වන සදුදා සිට විවෘත කිරීමට නියමිතයි.