Thursday, May 16, 2024

General line - 0115112241

විදෙස්ගත සිසුන්ට යළිත් වරක් සිය රටට පැමිණීමට අවස්ථාව දෙන්න ඕස්ටේ‍්‍රලියාව සූදානම්




විදෙස්ගත සිසුන්ට යළිත් වරක් සිය රටට පැමිණ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාකිරීමට ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මීට පෙර තීරණය කෙරුණේ නැවත දැනුම්දෙන තුරු විදෙස් සිසුන්ට ඕස්ටේ‍්‍රලියාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමටයි. කෙසේවෙතත් වෛරසය මේ වනවිට ක‍්‍රමයෙන් පාලනය කරමින් ඇති බැවින් ඉදිරියේදි විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීමටයි ඕස්ටේ‍්‍රලියාව තීරණය කර ඇත්තේ.

ඕස්ටේ‍්‍රලියාවේ නෙත් නිවුස් වාර්තාකරු සහන් වීරසේකර ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිළි කළා.

මේ අතර තවදුරටත් කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තාවීමෙන් ඇති පසුබිමක් තුළ රට විවෘත කිරීමට ස්පාඤ්ඤය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රටේ සියයට 50 කට වැඩි පිරිසකට යළි සුපුරුදු සාමාන්‍ය ජනජීවිතයට පිවිසීමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

සුළු පරිමාණ ව්‍යාපාර, රූපලාවන්‍යාගාර, ආපන ශාලා, හෝටල්, එළිමහන් වෙළදසැල්, ආගමික ස්ථාන, අධ්‍යාපනික ආයතන, කී‍්‍රඩා ආයතන විවෘත කිරීමට මෙන්ම මෙන්ම ඇවිදීමටද ජනතාවට අවසර හිමිවනු ඇති. කෙසේවෙතත් මෙම සියළු අවසරයන් ලැබෙන්නේ දැඩි කොන්දේසි සහ සීමා කිරීම් මතවීම විශේෂත්වයක්.

ස්පාඤ්ඤයෙන් රෝගීන් දෙලක්‍ෂ 62,783 ක් සහ පුද්ගල මරණ 26,478 ක් වාර්තා වනවා. ගත වූ පැය 24 තුළදීද රෝගීන් 2,666 ක් වාර්තා වුණා. 

ස්පාඤ්ඤයේ මෙන්ම සීග‍්‍රයෙන් කොරෝනා රෝගීන් වාර්තා වූ ප‍්‍රංශය තීරණය කර ඇත්තේ රට පුරා පනවා ඇති හදිසි තත්ත්වය එළඹෙන ජූලි මස 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමටයි. ප‍්‍රංශයෙන් රෝගීන් එක් ලක්‍ෂ 76,658 ක් සහ පුද්ගල මරණ 26,310 ක් වාර්තා වනවා. 

මේ අතර රුසියාවෙන් සහ බ‍්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24 තුළද එම රටවලින් අලූතින් රෝගීන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා.

තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 13 ලක්‍ෂ 47,003 දෙනෙක්. ඒ, ගත වූ පැය 24 ද අලූතින් රෝගීන් 25,218 ක් වාර්තාවීමත් සමගයි. අමෙරිකාවේ පුද්ගල මරණද 80,032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාවද 62,808 ක් දක්වා ඉහළ ගියේ අලූතින් රෝගීන් 3,113 ක් වාර්තාවීමත් සමගයි. අලූතින් පුද්ගල මරණ 116 ක් සමග එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,101 ක්.

මේ වනවිට ලොවපුරා කොරෝනා රෝගීන් හතලිස් ලක්‍ෂ 97,746 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 80,172 ක්. කොරෝනා වැළදී සුවය ලැබූ සංඛ්‍යාවද දාහතර ලක්‍ෂ 34,536 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.