Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා මධ්‍යයේ වුවද රට යළි විවෘත කිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ වුවද රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේද අවධානය යොමුව තිබෙනවා.

එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ කොන්දේසී සහිතව රට යළි විවෘත කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

එලිමහනේ වැඩිපුර වේලාවක් ගැවසීමටත්, සීමා සහිතව බාහිර සමාජ කි‍්‍රයාකාරකම්වල නිරත වීමටත් එංගලන්ත වැසියන්ට අවස්ථාව හිමිවනු ඇති.

ඒ අනුව ශරීර සුවතා වැනි කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණීමට එංගලන්ත වැසියන්ට අවස්ථාව හිමිවන නමුත් එවැනි කටයුතුවලදී එකට මුණ ගැසීම් පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ. 

සිය නිවසේ සිට රාජකාරී කළ නොහැකිව සිටින පුද්ගලයින්ට සේවා ස්ථානයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වීමටද අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන්.

කෙසේවෙතත් රාජකාරී සඳහා යාමේදී පොදු ප‍්‍රවාහන සේවා භාවිත නොකිරීමට වගබලා ගන්නැයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එංගලන්ත වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.