Monday, April 29, 2024

General line - 0115112241

වී හෝ සහල් සඳහා ඇති පාලන මිලේ සංශෝධනයක් අවශ්‍ය දැයි සොයයි




වී සඳහා පනවා ඇති පාලන මිල හෝ සහල් සඳහා පනවා ඇති පාලන මිලෙහි සංශෝධනයක් සිදුකළයුතු දැයි සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ ඊට අදාළ අධ්‍යයනය මේ වනවිට ද ආරම්භ කර ඇති බවයි.

වෙළදපොලේ පවතින සහල් හිඟය සහ පාරිභෝගිකයින් පත්ව ඇති දුෂ්කරතා පිළිබද නෙත් නිවුස් දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා. එහිදී පාරිභෝගිකයින් පැවසුවේ වෙළදපොල තුළ සම්බා සහ නාඩු සහල් මිලදී ගැනීමට නොමැති බවයි.

පවතින සහල්ද අළෙවි කරන්නේ පාලන මිල ඉක්මවා බවටයි ඔවුන් චෝදනා කළේ. කෙසේවෙතත් ව්‍යාපාරිකයින් පැවසුවේ මෝල් හිමියන් විසින් පාලන මිල ඉක්මවා තමන්ට සහල් ලබාදීම සහ ප‍්‍රමාණවත් සහල් තොග ලබා නොදීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කර අළෙවි කිරීමට සිදුව ඇති බවයි. 

සම්බා සහ නාඩු ඇණවුම් කිරීමේදී මහා පරිමාණ මෝල් හිමියන් තමන්ට කීරි සම්බා සහල් ද අනිවාර්යයෙන්ම මිලදී ගන්නා ලෙසට කොන්දේසියක් පනවා ඇති බව සහල් ව්‍යාපාරිකයින් පැවසුවා. කෙසේවෙතත් මෝල් හිමියන් පවසන්නේ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවයි. නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහනින්ද අද උදෑසන අනාවරණ කළේ මෙම අර්බුදය පිළිබදවයි. 

පවතින තත්ත්වය හමුවේ ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් ඇති පසුබිමකද පසුගිය දින කිහිපයේම වෙළදපොලේ සහල් හිඟයක් දක්නට ලැබුණා. මේ හේතුවෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය විසදා ගැනීමට මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කෙසේවෙතත් පුත්තලම දිස්ති‍්‍රක් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඒ. ඒ. බී. අබේකීර්ති පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් සහල් කිලෝවක් අළෙවි කළ හැකි හොදම මිල වන්නේ රුපියල් 98 බවයි.

සහතික මිල පැනවීම හේතුවෙන් මේ වනවිට අර්බුද මතුව ඇති බවයි සහල් නිෂ්පාදකයින් අදහස් පළ කරන්නේ.

එහෙත් කිසිසේත්ම සහල් සඳහා පැනවූ පාලන මිල මේ දක්වා වැඩි කර නොමැති බවයි අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පැවසුවා. රට තුළ ප‍්‍රමාණවත් තරම් වී තොග පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙරට පරිභෝජනයට වසරකදී අවශ්‍ය සහල් ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 24 කට ආසන්නයි. අවශ්‍ය වී ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 36 ක් වන අතර ඉකුත් මහ කන්නයේදී පමණක් නිෂ්පාදනය කර ඇති වී ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 32 ක්.

සමස්තයක් ලෙස ගත් කළ වසරකදී මෙරට ගොවීන් වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 50 කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි සදහන් වන්නේ.