Tuesday, April 30, 2024

General line - 0115112241

සියළු වගා වනසන අලූතින් හමුවූ පළගැටියා රට පුරා පැතිරීමේ අවදානමේ




කුරුණෑගල, මාවතගම ඇතුළු ප‍්‍රදේශ රැසක බෝග වගාවන් වනසමින් සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පළගැටියන් විශේෂය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද ආරම්භ කළා. 

මෙම පළගැටියන් පැතිරයාම ඉකුත් දින දෙකක කාලයක සිට සීග‍්‍රයෙන් සිදුවෙමින් ඇති බවයි නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළේ. මෙම පළගැටි විශේෂය පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැසකට දැඩි හානි සිදුකර තිබුණා. 

පවතින තත්ත්වය සළකා මෙම පළගැටියන් මර්දනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

සේනා දළඹුවන් වගාවන්ට සිදුකළ හානියට වඩා මෙම පළගැටි විශේෂයෙන් වගාවන්ට වැඩි හානියක් සිදුවිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ. එබැවින් මෙම පළගැටියන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ගොවි ජනතාවට දැනුම් දෙනවා. 

මේ දක්වා සිදුකල මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ රංචු වශයෙන් කඩා වැදී මෙම පළගැටි විශේෂය වගාබිම් විනාශ කරන තත්ත්වයට පත්ව ඇති බවයි. 

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙවැනිම පළගැටියන් විශේෂයක් මීට පෙර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැුසකින්ද වාර්තා වුවද මෙම පළගැටියන් එම  පළගැටියන් නොවන බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් වැඩිදුරටත් කියාසිටියේ.