Thursday, May 2, 2024

General line - 0115112241

මොණරාගලදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මිය යයි




මොණරාගල ඉත්තෑකටුව ප‍්‍රදේශයේදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු වෙඩි වැදී මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉකුත් 31 වන දා මොණරාගල මාරාව ප‍්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක්. 

මෙම සැකකරු සැඟව සිටින ස්ථානය පිළිබඳ මොණරාගල පොලිස් ස්ථානයට අද තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව 12යි 50 ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. වැටලීම සිදු වන අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. පොලිසිය ද ඊට ප‍්‍රතිප‍්‍රහාර සිදුකර ඇති අතර වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මොණරාගල සිරිගල රෝහලටයි. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මියගොස් තිබෙනවා. 

මෙම සැකකරු මොණරාගල ඉත්තෑකටුව ප‍්‍රදේශයේම පදිංචි තිස් වන වියේ පසු වූවෙක්. ඔහු සන්තකයේ තිබී පොලිසියට වෙඩි තැබීමට යොදා ගන්නා ලද පතුරොම් තුවක්කුව සහ ජීව අත්බෝම්බයක් ද සොයා ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සිදු කරන්නේ මොණරාගල පොලිසියයි.