Saturday, May 18, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන්ගේ පියාට පහර දුන් තවත් අයෙකු මට්ටක්කුලියේදී අත්අඩංගුවට




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මට්ටක්කුලිය ‘‘සත්හිරු සෙවන’’ නිවාස සංකීර්ණයේ සැගව සිටියදී  අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධියට සම්බන්ධ පස්වන සැකකරු වන 19 හැවිරිදි රොනාල් සිල්වා නොහොත් ‘‘රෝගාන්ෂන්’’ නමැත්තායි. 

මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පොලිස් අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔවුන් තිදෙනා අද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකරුවන් පැය 24 ක කාලයක් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමටයි අධිකරණය, එහිදී පොලීසියට අවසර ලබාදී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එම සැකකරු පැය පැය 48 ක කාලයක් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පළමු සැකකරු ද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කර තිබෙනවා. එහිදී එම සැකකරු ජූලි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. 

ඉකුත් 17 වනදා තී‍්‍ර රෝද රථයකින් පැමිණී පිරිසක් විසින් මාලිගාවත්ත ප‍්‍රදේශයේ මාර්ගයක් අසලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නමැත්තාගේ පියාට තියුණු ආයුධවලින් පහරදී පළා ගොස් තිබුණා.