Sunday, April 28, 2024

General line - 0115112241

පෙර පුරෝකථනයට වඩා ගෝලීය ආර්ථිකය අවධානම් මට්ටමක - IMF අනතුරු අඟවයි




පෙර පුරෝකථනය කළ ආකාරයට වඩා ගෝලීය ආර්ථික වර්ධන වේගය අඩාල වීමේ අවධානමක් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවනු ලබනවා.

මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සීයයට 4.9 කින් පමණ පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කර සිටියා. එය 1930 වර්ෂයේදී ඇතිවූ ආර්ථික අවපාතයට වඩා පසුබෑමක් බවයි පුරෝකථනය කර සිටියේ.

අමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 8 කින් ද, යුරෝපයේ ආර්ථිකය සීයයට 10.2 කින් සහ දැනට කොවිඩ් 19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බ්‍රසීලය වැනි ලතින් අමෙරිකානු රටවල ආර්ථික වර්ධනය සීයයට 9.1 කින් පහත වැටෙනු ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කර සිටින්නේ.

මේ අතර මෙක්සිකෝවේ නිෂ්පාදනයන් සීයයට 10.5 කින් පහත වැටෙනු ඇති බවට අනුමාන කර සිටින අතර වෛරසයේ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වූ චීනයට එරට රජයේ ප්‍රතිපත්තිමය සහයෝගය මත සීයයට 1 ක පමණ නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩි දුරටත් සඳහන් කරන්නේ.

කොවිඩ් 19 වසංගතය වසරේ මුල් භාගයේ දී පෙර අපේක්ෂා කළ ආකාරයට වඩා සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බැවින් ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පෙර පුරෝකථනය කළාට වඩා කාලයක් ගතවෙනු ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරන්නේ.