Monday, April 29, 2024

General line - 0115112241

චීනයට පෙර ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය තිබු බවට සාක්ෂි හමුවෙයි 




කොවිඩ් 19 වෛරසය චීනයෙන් හඳුනා ගැනීමට මාස 09 කට පෙර ස්පාඤ්ඤයේ පැවති බවට සොයා ගැනීමට පර්යේෂකයින් සමත්ව තිබෙනවා. මෙම නවතම සොයා ගැනීමත් සමගම විද්‍යාඥයින් පෙර අනුමාන කළ කාලයට වඩා වෛරසය ව්‍යාප්තව තිබුණාද යන්න සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී තිබෙනවා.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හිදී පර්යේෂකයින් විසින් එකතු කරන ලද අපජල සාම්පලයකින් කොරෝනා වෛරසය සොයා ගැනීමට හැකිවූ බවට බාර්සිලෝනා සරසවියේ පර්යේෂක කණ්ඩායමක් ඊයේ නිවේදනය කර සිටියා.

නව්‍ය කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග බාර්සිලෝනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ඉදිරියේදී ඇතිවිය හැකි නවතම වෛරස් බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමට පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔවුන් විසින් එකතු කරන ලද අපජල පරික්ෂා කිරීම හරහායි.

ස්පාඤ්ඤයෙන් පළමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වු ජනවාරි මස 15 වෙනිදාට දින 41 කට පෙර ලබා ගෙන තිබු අපජල සාම්පලයක තිබී කොරෝනා වෛරසයේ සංඝටකයන් සොයා ගැනීමට මෙහිදී පර්යේක්ෂකයින් සමත්ව ඇත.

මෙම සොයා ගැනීමත් සමග පර්යේෂකයින් විසින් 2018 වර්ෂයේ ජනවාරි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසයේදී එකතු කළ අපජල සාම්පල් පරීක්ෂණය කිරිමට තීරණය කොට ඇත්තේ සිය පර්යේෂණ නව අදියරකට යොමු කරමින්ය.

එහිදී ඉකුත් 2019 වසරේ මාර්තු මස 21 වෙනිදා බාර්සිලෝනා හිදී ගනු ලැබූ සාම්පලයකින් කොරෝනා වෛරසයේ සංඝටක සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම පර්යේෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි කණ්ඩායමේ ප්‍රධානි ඇල්බොට් බෝෂ් කියා සිටියේ එම අපජලය සාම්පලයේ තිබු කොවිඩ් 19 වෛරසයේ සංඝටකයන් ඉතා අඩු මට්ටමක පැවති බවයි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් කොවිඩ් 19 වසංගතය වාර්තා විමට මාස 09 කට පෙර පැවති බවට වන සාක්ෂියක් වන බවයි එම පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මෙම නවතම සොයා ගැනීම් සම්බන්ධයෙන් වන වාර්තාවන් තුල්‍ය සමාලෝචනයක් සඳහා ඉදිරිපත් කිරිමට පර්යේෂක කණ්ඩායම පියවර ගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.