Thursday, May 2, 2024

General line - 0115112241

ප‍්‍රබල ගණයේ තවත් රැදවියන් 12ක් බූස්සට




බන්ධනාගාරගතව සිට මත්කුඩු ජාවාරම සහ පාතාල කි‍්‍රයා සිදුකළ තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් 12 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම රැදවියන් විවිධ බන්ධනාගාරවල රඳවා සිට අය බවයි. 

මාරුකළ පිරිස අතරට ‘‘කොස්ගොඩ තාරකගේ’’ සමීපතමයෙකු වන කොළඹ රිමාන්ඞ් බන්ධනගාරයේ රඳවා සිටි ‘‘ගගන’’ නැමැත්තාද අයත්. එම බන්ධනාගාරයේම රඳවා සිටි ‘‘චුව්වා සමන්ත’’ ද බූස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි ‘‘දෙමටගොඩ චමින්ද’’ මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ‘‘කුඩු තිලාන්’’ සහ ‘‘රොටුඹ රසික’’ ද මාරු කළ රැඳවියන් අතරට අයත්. 

කළුතර බන්ධනාගාරයේ ‘‘ස්මැක් මංජු’’, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ‘‘ ඕලූ මරා’’, මැගසින් බන්ධනාගාරයේ ‘‘ආමි සම්පත්’’ ද බූස්ස බන්ධනාගාරයට මාරු කළ පිිරිසට අයත් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි ‘‘ලලිත් පිංතු’’ මෙන්ම ‘‘ගොත අසංක’’ද මෙලෙස මාරු කළ රැදවියන් අතරට අයත්. ඔවුන් බූස්ස බන්ධනාගාරයේ මේ වනවිට වෙන වෙනම සිර මැදිරිවල රදවා සිටින්නේ අනෙකුත් කිසිදු රැඳවියෙකු මුණ ගැසීමට නොහැකි පරිදි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් 14 දෙනෙකු මීට පෙර අවස්ථා කිහිපයකදී මාරු කෙරුණා. ඒ අතරට වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් අයත්. ඔවුන් වෙන වෙනම සිර මැදිරිවල රදවා සිටීම හේතුවෙන් ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී ආහාර වර්ජනයකද නිරත වුණා.

ඒ තමන් සිරමැදිරිවලින් පිටත රඳවා තබන කාලය වැඩි කරන ලෙසටයි. සාමාන්‍යයෙන් ඔවුන්ට සිර මැදිරයෙන් පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ දිනකට පැයක කාලයකට පමණයි. 

කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී එම සිරමැදිරිවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ද ජංගම දුරකතන කිහිපයක් සහ සිම් කාඞ්පත් කිහිපයක් සොයා ගැණුනා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ මෙහෙයුම්වලදීයි.