Wednesday, May 8, 2024

General line - 0115112241

මුහුණු ආවරණ පළඳින්නැයි ට්‍රම්ප් අමෙරිකානුවන්ගෙන් ඉල්ලයි




නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පළඳින්නැයි සියලූම අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. 

ඔහු මේ බව පවසා ඇත්තේ ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීයි. අමෙරිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය දිනෙන් - දින යහපත් අතට හැරෙනවා වෙනුවට, තව - තවත් අයහපත් අතට පත්වෙමින් පැවතීම හේතුවෙන් එම ඉල්ලීම සිදු කරන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත්තේ. 

අමෙරිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාල සීමාවේ සිටම මුහුණු ආවරණ පැළදීම ප‍්‍රතික්ෂේප කර,  ඕනෑම පොදු ස්ථානයකට මුහුණු ආවරණ නොමැතිව ගමන් කළ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මෙම ඉල්ලීම ලොව පුරා බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. 

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හතළිස් ලක්ෂ 28,569 ක්. කොරෝනා මරණ එක්ලක්ෂ 44,953 ක් ද එරටින් වාර්තා වනවා. 

ඊයේ දිනයේදී පමණක් නව්‍ය කොරෝනා ආසාදිතයින් 67,140 දෙනෙකු  එරටින් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

මේ අතර, අද සිට කි‍්‍රයාත්මක වන පරිදි  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගර වැසියන්ට නිවසින් පිටතට යනවිට මුහුණු ආවරණ පැළ`දීම අනිවාර්යය කර තිබෙනවා. 

ඒ, ගත වූ පැය 24 තුළ, මෙල්බර්න් නගරය පිහිටි වික්ටෝරියා ප‍්‍රාන්තයෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 484 දෙනෙකු වාර්තා වීමත් සමගයි.  පී සී ආර් පරීක්ෂණවලින් නව්‍ය කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් නිසි පරිදි ස්වයං නිරෝධායනය නොවීම හේතුවෙන් එලෙස නව්‍ය කොරෝනා ආසාදිතයින් සීඝ‍්‍රයෙන් ඉහළ යන බවයි වික්ටෝරියා ප‍්‍රාන්ත ප‍්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ. 

ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයින් රෙගුලාසි නොතකා සාප්පු සවාරි යෑම සහ රැකියා සඳහා පිටත් වීම හේතුවෙන්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යන බව ඩැනියෙල් ඇන්ඩෲස් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.